බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය චෙල්සි රාජකීය රෝහලට ‘සිලෝන් ටී’ බෙදයි

බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ජ්‍යෙෂ්ටයන් ප්‍රතිකාර ලබමින් සිටින චෙල්සිහි රාජකීය රෝහල වෙත ශ්‍රී ලංකාවේ ‘සිලෝන් ටී’ නිෂ්පාදන තොගයක් ප්‍රදානය කරන්නට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන සරෝජා සිරිසේන මහත්මිය විසින් පසුගියදා කටයුතු යෙදූ බව ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙහිදී ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ මෙරට ප්‍රධාන පෙළේ තේ නිෂ්පාදකයන් හත් දෙනෙකු එක්ව මෙම ප්‍රදානය සිදු කර තිබේ. එහිදී වින්ටේජ් ටීස් සිලෝන් ලිමිටඩ්, ටී ට්‍රෙන්ඩ්ස් එක්ස්පෝර්ට් ලිමිටඩ් (නිව් ඉංග්ලිෂ් ටීස්), ඉංග්ලිෂ් ටී ෂොප්, ඩිල්මා සිලෝන් ටී, ම්ලෙස්නා සිලෝන් ලිමිටඩ්, ස්ටෙසන් ඉන්ටර්නැෂනල් සහ අක්බාර් බ්‍රදර්ස් යන සමාගම් මෙම ප්‍රදානය සඳහා දායකත්වය ලබා දී ඇත.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන, නියෝජ්‍ය මහ කොමසාරිස් ලක්මිණි මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාව වෙත සහභාගි වී තිබේ.

මෙහිදී අදාල ප්‍රදානයන් චෙල්සි රාජකීය රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී ගැරී ලාෂ්කෝ වෙත ලබාදී තිබේ. තේ පානය බ්‍රිතාන්‍ය යුද හමුදාව තුළ දිගු කාලයක් පුරා සම්ප්‍රදායක් ලෙස ක්‍රියාත්මකව පැවති බවත්, මෙම ප්‍රදානය හරහා ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සඳහා වන දායකත්වය පෙන්නුම් කරන බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

Views: 59