කාර්ගිල්ස් බැංකු MD/CEO රාජේන්ද්‍ර ත්‍යාගරාජා ඉන් ඉවත්වීමට යයි

කාර්ගිලිස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරන මෙරට ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවෙකු වන රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා ලබන සැප්තැම්බර් 30 වැනිදා සිට සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි පවසයි.

වසර 34කට අධික කාලයක් බැංකු සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත රාජේන්ද්‍ර මහතා 2018 වසරේ ජනවාරි 01 වැනිදා සිට කාර්ගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත්වීම් ලැබුවේය. ඊට පෙර ඒ මහතා 2016 වසරේ දෙසැම්බර් මාසයේ සිට බැංකුවේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අතර ඒකාබද්ධ නියෝජ්‍ය සභාපතිවරයාද විය.

එතෙක් කාර්ගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක ධුරය දැරූ ප්‍රභූ මාතවන් එම ධුරයන් ඉවත් වීමත් සමගින්ම රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා ධුරයට පත්විය. එම පත් කිරීමත් සමගින්ම ප්‍රභූ මාතවන් මහතා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයා බවටත් පත්විය.

කාර්ගිල්ස් බැංකුවට සම්බන්ධවීමට පෙරාතුව ත්‍යාගරාජා මහතා නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස වසර තුනක් කටයුතු කළේය. එම කාලසීමාවේදී බැංකුව %ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව^ බවටද පත්විය. ඊට පෙර ඒ මහතා වසර නවයක කාලයක් හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දැරුවේය. එම කාලසීමාවේදී පුරා වසර හතක් එම බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම සිල්ලර බැංකුව ලෙස තේරී පත්විය.

මේ අතර ඒෂියන් බෑන්කර් සඟරාව මගින් අවස්ථා දෙකකදී කැපී පෙනෙන බැංකුකරණ නායකත්වයෙන්ද රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා පිදුම් දී තිබේ. ඒ මහතා ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයාද වෙයි. එසේම ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකුද වෙයි.

Visits: 266