සිංගර් ශ්‍රී ලංකා දේශීය නිෂ්පාදන පුළුල් කිරීමේ සැලසුමක

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම ඉදිරි කාලසීමාවේදී සිය දේශීය නිෂ්පාදන කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව පවසයි. එහිදී විවිධාංගීකරණය වූ නිෂ්පාදන සමගින් මෙම කටයුතු සිදු කිරීම අපේක්ෂාව බවත් සිංගර් ශ්‍රී ලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා පවසයි.

සමාගම පසුගියදා නිකුත් කළ 2019/2020 වාර්ෂික වාර්තාව තුළ ප්‍රධාන විධායක නිලධාරීවරයා මේ කරුණු සඳහන් කර තිබේ. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය නිසා ඇති වූ කෙටිකාලීන පීඩනයෙන් පසුව මැදිකාලීනව සිට දිගුකාලීනව දක්වා සිය ව්‍යාපාරයේ යම් වර්ධනයක් බලාපොරොත්තු වන බවත් ඔහු මෙහිදී පවසා ඇත.

ඒ අනුව මේ හරහා රැකියා අවස්ථා නිර්මාණය කරමින් සිය සැපයුම් දාමයන්හි වටිනාමක් උත්පාදනය කළ හැකි බව ඔහුගේ අදහස වී තිබේ. කෙසේ වෙතත් ඒ සඳහා රජයේ ප්‍රතිපත්ති ස්ථාවරත්වය වැදගත් බවද හෙතෙම සඳහන් කරයි.

“එවැනි ව්‍යාපාරයක් වෙත යොමුවීමේදී වාණිජ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රතිපත්ති ස්ථාවරත්වය ඉතාමත් වැදගත් අවශ්‍යතාවක් වෙනවා. ඒ අනුව මෙවැනි ආයෝජනයන් සඳහා සුදුසු පරිසරයක් ඇති කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති ක්‍රියාරාමුවක් සකස් කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන්ද සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියි.

අද දවසේදී සිය පාරිභෝගිකයන්ගේ කැමැත්තේ පවතින ඉහළ යාමත් සමග පෙන්නුම් කර ඇති අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් කටයුතු කිරීමටත් පියවර යොදන බව ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙහිදී පවසයි. ඒ සඳහා වන සිය සන්නාමය නැවුම් කරමින් සිල්ලර සන්නාමකරණයේ උපායමාර්ගික ක්‍රමවේදයක් පිළිබඳවද සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අවධානය යොමු වී තිබේ.

“අපගේ සන්නාමය නැවුම් කරමින් ඒ වෙත නව සිල්ලර පාරිභෝගිකයන් පිරිසක් ආකර්ෂණය කරගැනීම අපේ අපේක්ෂාවයි.  එතැනදී අනාගතයේ ඉතා හොඳ වර්ධනයක් පවතින බවට පෙන්නුම් කර තිබෙන තරුණ ප්‍රජාවත් ඊට ඇතුළත්. එම පාරිභෝගික පිරිසගේ හැසිරීම් රටාව හඳුනාගනිමින්, ඔවුන් අප වෙත ආකර්ෂණය කරගැනීම සඳහා කණ්ඩායමක් නේම නව අලෙවි ක්‍රමෝපයක්ද දැනටමත් සකස් කර තිබෙනවා.” යනුවෙන්ද සිංගර් ශ්‍රී ලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා පවසයි.

මෙම වාර්තාවේ සඳහන් ආකාරයට සිංගර් ශ්‍රී ලංකා සමූහය 2019/20 වසරේදී ලබා ගෙන ඇත්තේ රුපියල් බිලියන 54ක ආදායමකි. එය 2018/19 වසරේදී ඔවුන් ලබා ගත් රුපියල් බිලියන 58ක ආදායම හා සැසඳීමේදී 6.4%ක අවප්‍රමාණයවීමකි. විශේෂයෙන්ම 2019 අප්‍රේල් මාසයේදී ඇති වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුවුණු පාරිභෝගික වියදම් සීමා වීම මෙන්ම මේ වසරේ මාර්තු මාසයේදී ඇති වූ කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමගම සිදුවුණු සිය වෙළෙඳාමේ කඩාවැටීම මෙම ආදායම් අඩුවීමට හේතුව ලෙස සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම සඳහන් කරයි.

Hayleys PLC, Singer Finance (Lanka) PLC, Singer Industries (Ceylon) PLC, Regnis (Lanka) PLC, Reality (Lanka) Limited, Regnis Appliances (Private) Limited, Singer Digital Media (Private) Limited, Singer Business School (Private) Limited සහ Domus Lanka (Pvt) Limited යන සමාගම් සිංගර් ශ්‍රී ලංකා සමූහයට අයත් සමාගම් වෙයි.  

Views: 277