ජ්‍යෙෂ්ඨ පුරවැසි පොළී අනුපාත එලෙසින්මලු

ජ්‍යෙෂ්ට පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලී අනුපාත කිසිදු වෙනස් සිදු කර නොමැති බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එසේම මෙතෙක් පැවැති පොලි අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක බව අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.

ඒ අනුව මෙවැනි අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ මගින් නොසන්සුන්තාවයට පත්නොවන ලෙස ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දී සිටියි.

“තම ජීවිතයේ තරුණ ජවය රටේ සංවර්ධනය වෙනුවෙන් කැපකළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් 2014 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන ‘ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා වූ විශේෂ පොලී අනුපාත’ වැඩසටහන යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාත ප්‍රතිලාභයේ කිසිඳු සංශෝධනයක් සිදුකර නොමැත.”

ඒ අනුව එම වැඩසටහන මෙතෙක් ක්‍රියාත්මක කළ ආකාරයටම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙහිදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතය සංශෝධනය කර ඇති බවටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු සහනය ඉවත් කර ඇති බවටත් ඇතැම් මාධ්‍ය මගින් කර ඇති ප්‍රකාශ අසත්‍ය හා පදනම් විරහිත බව අමාත්‍යාංශය පවසයි.

“රජය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැත. නව රජය පත්වීමත් සමඟ 2020.01.01 දින සිට බැංකු පොලිය මත අයකළ රඳවා ගැනීමේ බද්ද (Withholding Tax) අහෝසි කරන ලද අතර, මාසික පොලී ආදායම රු. 250,000.00 ක් එනම් වසරකට රු. 3,000,000 ක් දක්වා බද්දෙන් නිදහස් කර ඇත.” අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 98