මත්තල ගුවන් තොට වෙළෙද නාවික හුවමාරු මධ්‍යස්ථානයක් බවට

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙළෙඳ නැව්වල නාවිකයන් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමට අදහස් කරගෙන සිටින බව රජය පවසයි. ඒ සඳහා අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇතැයිද කාර්මික අපනයත, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර සිටියි.

අමාත්‍යවරයා පවසන ආකාරයට පසුගිය මාසය තුළදී මත්තල ගුවන් තොටුපොළට ගුවන්  යානා 13ක් පැමිණ තිබේ. ඒ අතරින් රෝමයේ සිට පුද්ගලයන් 155 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඊයේ දිනයේදී පැමිණි බවත්, අද දිනයේදී ලන්ඩනයේ හීත_ ගුවන් තොටුපොළේ සිට තවත් 90 දෙනෙක් මත්තලින් දිවයිනට පැමිණි බව පැවසෙයි.

“විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වගේම වෙළෙඳ නැවි නාවිකයෝද මත්තල ගුවන් තොටුපොළ හරහා දිවයිනට පැමිණ තිබෙනවා. මත්තල ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීම සඳහා මේ වනවිටත් සූදානමිනුයි සිටින්නේ. ඒ සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයක්ම එකඟතාව පළ කර තිබෙනවා. ඔවුන් සමඟ අප තවදුරටත් සාකච්ඡා කරනවා.” අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

විශේෂයෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටුනායක ගුවන් තොටුපොළින් පැමිණෙන සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කරන නිසා, ඒ සඳහා ගත වන කාලය හේතුවෙන් දිනකට එහි සිදු කළ හැක්කේ උපරිමව ගුවන් යානා 3ක් 4ක් අතර සංඛ්‍යාවක් පමණකි. මේ නිසා මත්තල ගුවන් තොටුපොළද භාවිත කරමින් විදෙස් ගත ශ්‍රමිකයන් ඇතුළු පිරිස් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු යෙදී ඇත.

2013 වසරේ මාර්තු 18 වැනිදා විවෘත කෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වැය වූ මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 209 ක් බවද අමාත්‍යවරයා පවසයි. එය පසුගිය රජය සමයේදී වී ගබඩා කිරීමට යොදා ගත් බවත් අමාත්‍යවරයා මෙහිදී මතක් කර දී සිටියි.

Views: 73