නැට්වෙල්ත් සෙකියුරීටීස්හි ප්‍රාථමික අලෙවි බලපත්‍රය යළි අත්හිටුවෙයි

නැට්වෙල්ත් සෙකියුරීටීස්හි ප්‍රාථමික අලෙවි බලපත්‍රය යළි අත්හිටුවෙයි

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් (Nat wealth Securities Limited) සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2020 ජූනි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස හයකට කාලයකට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි මහ බැංකුව පවසයි.

පසුගිය මැයි 28 වැනිදා පැවැත්වුණු මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් බලපැවැත්වෙන විධානයන්ට අනුකූලවීමට අඛණ්ඩව නොහැකිවීම මෙම අත්හිටුවීමට හේතුව වී තිබේ.

ඒ අනුව ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමෙහි ව්‍යාපාර කටයුතු හා ක්‍රියාකාරකම් අත්හිටුවීම සිදු කෙරෙන බව මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් මෙම නියාමන ක්‍රියාමාර්ගය සුරැකුම්පත් වෙළෙඳ පොළ කටයුතු කෙරෙහි අගතිදායක ලෙස බල නොපාන බවට සහතික වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ඇති බවත්, එසේම නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ ගනුදෙනුකරුවන්ගේ සහ ප්‍රතිපාර්ශ්වයන්ගේ හිමිකම්වලට හානි නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ගත නිදි පරිදි ගන්නා බවත් මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දී සිටියි.

2019 මැයි 30 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් පළමුවරට නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ ප්‍රාථමික ගනුදෙනු අවස්ථාවන් මාස හයක කාලයකට අත්හිටුවීමට පියවර ගැනුණි. කෙසේ වෙතත් පසුව 2019 නොවැම්බර් 29 වැනිදා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණයකට අනුව එම අත්හිටුවීම අහෝසි කිරීමට කටයුතු යෙදිණි.

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට අයත් නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් (National Wealth Corporation Limited) සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගම ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව එහි නියාමකයා ලෙස කටයුතු කරයි. 2003 වසරේ ජූනි 23 වැනිදා සිට එය රජයේ සුරැකුම්පත් ගනුදෙනුවල සුවිශේෂී ප්‍රාථමික ගනුදෙනුකරුවා ලෙස නම් කිරීමටද මහ බැංකුව කටයුතු යොදා තිබුණි. මේ වනවිට නැට්වෙල්ත් සෙකියුරිටීස් මගින් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැදුම්කර, ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ඇතුළු ආයෝජන අවස්ථා ඉදිරිපත් කරයි.

2018 වසරේදී එවකට පැවැති රජයේ කැබිනට් මණ්ඩලය මගින් නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් සහ නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් යන සමාගම්වල මෙහෙයුම් නවත්වා දමා එම සමාගම් ඈවර කිරීමටද යෝජනා ඉදිරිපත් කර තිබුණි. ඒ සඳහා වන යෝජනාව එවකට උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාව සිටි ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින්  ඉදිරිපත් කරන ලදි.

Views: 17