බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් අනුව මූල්‍ය සමාගම් සන්නාම ටිනාකම් 3.2%කින් ඉහළට

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් අනුව මූල්‍ය සමාගම් සන්නාම වටිනාකම් 3.2%කින් ඉහළට

ලොව මුල් පෙළේ ස්වාධීන සන්නාම ඇගයීම් සහ ක්‍රමෝපායික උපදේශන ලබා දෙන ආයතනයක් වන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව වන ‘බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා’ මගින් සිදු 2020 වසර සඳහා සිදු කරන ලද ‘ශ්‍රී ලංකාවේ මුල් පෙළේ සන්නාම 100’ පිළිබඳ ඇගයීම පසුගියදා නිකුත් විය. ඒ යටතේ මෙරට වඩාත් වටිනාම සන්නාමය සහිත මූල්‍ය සමාගම් පිළිබඳවද ඇතුළත්ව තිබේ.

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනය පවසන ආකාරයට මේ වසරේදී මෙරට මූල්‍ය සමාගම්හි සන්නාම වටිනාකම පෙර වසරට සාපේක්ෂව 3.2% කින් ඉහළ නැග තිබේ. ඒ අනුව මෙය බැංකු ක්ෂේත්‍රය හා සැලකූ විට විශේෂ අවස්ථාවක් බවත් ආයතනය පවසයි.

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා මගින් සකස් කර ඇති මෙම මූල්‍ය සමාගම් පිළිබඳ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ පීපල්ස් ලීසිං සමාගමයි. එහි සන්නාම වටිනාකම රුපියල් මිලියන 8,786ක් ලෙස සටහන්ව ඇත. 2019 වසරේදී එම සමාගම ලැබූ සන්නාම වටිනාකම රුපියල් මිලියන 8,719 කි. ඒ අනුව මෙය 1% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

“මේ මූල්‍ය සමාගම් අතර සන්නාම වටිනාකම අතින් බැලුවහම පීපල්ස් ලීසිං සමාගම වඩා වැඩි පරතරයකින් එහි මුල් තැනට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම රටේ ප්‍රධානම බැංකුවක දායකත්වය හරහා ලැබෙන සහයෝගය මෙලෙස පීපල්ස් ලීසිං සමාගමේ සන්නාමය වඩාත් ශක්තිමත්වීමටත් එහි වටිනාකම වැඩි වීමටත් හේතු වී තිබෙනවා.” බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා පවසයි.

මේ අතර ලංකා ඔරික්ස් ලීසිං ෆිනෑන්ස් (LOLC ෆිනෑන්ස්) සහ එල්.බී. ෆිනෑන්ස් යන සමාගම් මෙම අංශය යටතේ මේ වසරේදී වඩාත් ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇති මූල්‍ය සමාගම් සන්නාම දෙක ලෙස සටහන්ව ඇත.

ඒ අතරින් LOLC ෆිනෑන්ස් සමාගම හිමි කරගෙන ඇති සන්නාම වටිනාකම රුපියල් මිලියන 8,119 කි. 2019 වසරේදී එම වටිනාකම රුපියල් මිලියන 5,834 ක් ලෙස සටහන්ව ඇත. ඒ අනුව සන්නාම වටිනාකමේ වර්ධනය 39%කි.

“LOLC ෆිනෑන්ස් සමාගම මේ වනවිට වඩාත් ශක්තිමත් මූල්‍ය සේවා සන්නාමයක් විදියට  ඉදිරියට පැමිණෙමින් තිබෙනවා. එහි සන්නාම වර්ගීකරණය AA මට්ටමේ පවතින්නේ. විශේෂයෙන්ම LOLC ෆිනෑන්ස් සහ LOLC මයික්‍රොක්‍රෙඩිට් යන සමාගම් දෙක අතර සිදුවූ ඒකාබද්ධයේ ප්‍රතිඵල එය හඳුන්වන්න පුළුවන්.” බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා සඳහන් කරයි.

මෙම ඒකාබද්ධවීමේ අවසන් එකඟතාව 2018 වසරේ මාර්තු 31 වැනිදා සිදුවුණු අතර, එය සමාගමේ මූල්‍යමය සාර්ථකත්වය වර්ධනයට හේතු වූ බවට සාක්ෂියක් බවද බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා පවසයි. එසේම නවෝත්පාදන සහ ශක්තිමත් පාරිභෝගික විශ්වාසය LOLC සමාගමේ දිගුකාලීන පිළිගැනීමට සහ සන්නාමයේ ශක්තිමත් බවට හේතු වී ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.

මෙම වටිනාම මූල්‍ය සමාගම් සන්නාම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත්ව ඇති එල් බී ෆිනෑන්ස් සමාගම 2020 වසරේදී ලබා ගෙන ඇති සන්නාම වටිනාකම රුපියල් මිලියන 6,327 කි. 2019 දී එය 5,133 ක් ලෙස සටහන්ව ඇති අතර, වටිනාකමේ වර්ධනය 23% කි. විශේෂයෙන්ම එල්බී ෆිනෑන්ස් සමාගමේ ශක්තිමත් තිරසාර වර්ධනය පිළිබඳ අවධානය මෙලෙස සන්නාම වටිනාකම් ඉහළ දැමීමට හේතු වී ඇතැයි බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා පවසයි.

කෙසේ වෙතත් මෙම අස්ථාවර කාලසීමාවේදී මූල්‍ය සමාගම් සියල්ලම පාහේ සිය සන්නාමය ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර යුතුව ඇතැයිද බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා අවධාරණය කරයි. එසේම පෙරට වඩා වැඩි වගවීමක් සහ කොටස්හිමිකරුවන් වෙත ප්‍රතිලාභ ලබා දීම සම්බන්ධයෙන් වඩාත් බලපෑම් සහගත ක්‍රමෝපායික තීරණ වෙත යොමුවීම වැදගත් බවත් ඔවුන් පෙන්වා දෙයි.

1996 වසරේදී පිහිටවුණු මෙම බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ මූලස්ථානය එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පිහිටා තිබේ. එය මේ වනවිට ලොව පුරා ස්ථාන 20කට අධික සංඛ්‍යාවක පිහිටුවා තිබේ. ‘අලෙවිකරණය සහ මූල්‍ය අතර පවතින ඈත්වීම තවදුරටත් සමීප කරවීම’ අරමුණු කරගනිමින් මෙම ආයතනය පිහිටවූ බව පැවසෙයි. වසරකට එම ආයතනය ලොව පුරා සන්නාම 5,000කට අධික සංඛ්‍යාවක වටිනාකම් ඇගයීමට ලක් කෙරෙන බවත් සඳහන් වෙයි.

පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් විසින් සිදු කරන ලද අනාවරණයට අනුව අද වනවිට මෙරට තුළ බැංකු නොවන මූල්‍ය ආයතන 42කට ආසන්න සංඛ්‍යාවක් පවතින බවත්, ඒවායින් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් අර්බුදයට ලක්ව ඇති බවත් සඳහන් විය. ඒ අතරින් අර්බුදයට ලක්ව ඇති ද ෆිනෑන්ස් ආයතනයේ බලපත්‍රය අහෝසි කිරීමටද මහ බැංකුව පසුගියදා පියවර ගෙන තිබුණි.

මෙලෙස රටෙහි මූල්‍ය සමාගම් මුහුණ දී ඇති අර්බුද සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මේ සතියේදී රජයේ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පවත්වන බවද රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය සතියේදී පවසා සිටියේය.

Visits: 49