SLIM සිසුන් අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට CSE සහ SLIM සහයෝගීතා ගිවිසුමකට

කොළඹ කොටස් හුවමාරුව (CSE) ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) පසුගියදා අත්සන් කළ බව පවසයි. මෙහි මුලික අරමුණු වන්නේ  අධ්‍යාපනික මුලපිරීම් සහ වෘත්තීය සංවර්ධනය සඳහා සහයෝගිතා ප්‍රයත්නයන් වැඩි දියුණු කිරීමයි.

මෙම ප්‍රයත්නය අවසානයේ සිසුන්ට මූල්‍ය අංශය තුළ ඇති අවස්ථා හදුනාගැනීමත්  ඒ සඳහා නිසි ආකාරව සුදානම් වීමටත්  ඉඩ ප්‍රස්ථා සැලසෙනු ඇත.

මෙම අවබෝධතා ගිවිසුමේ පරමාර්ථය වන්නේ අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා වැඩසටහන සඳහා ප්‍රාග්ධන වෙළඳපල විෂය ඒකකයක් ඇතුළත් කිරීම සහ SLIM සමඟ එක්ව CSE ශාඛාවන් හරහා SLIM හි අනෙකුත් පාඨමාලා වල  ආරාධිත දේශන සඳහා පහසුකම් සැලසීමයි.

මෙම අධ්‍යාපනික පාඨමාලා SLIM සහ CSE යන දෙඅංශයෙන්ම සම සන්නාමගත කරනු ඇත. මීට අමතරව, CSE විසින් සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා කලාපීය මට්ටමින් අවශ්‍ය අලෙවිකරණ කටයුතු සිදු කරනු ඇත.

සහයෝගීතා ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පැවසුවේ, “මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම මුල්‍ය වෙළඳපොල කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරනු ඇත. තොරතුරු සහ අවබෝධය නොමැතිකම ප්‍රාග්ධන වෙළඳපොළට පිවිසීමට ඇති චකිතයට එක් හේතුවකි.  ප්‍රාග්ධන වෙළඳපොල ගැන නොදන්නා අයට මේ සම්බන්ද තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි බව සහතික කරන අතරම, ආයෝජකයින්ට අවිනිශ්චිතතාවයෙන් තොරව තම තීරණ සෘජුව ගැනීම‍ට අවශ්‍ය තොරතුරු සහ දැනුම් සම්භාරයක් ලබාදීමට මෙවන් සහයෝගිතාවයන් ඉවහල් වනු ඇත.”

ඔහු වැඩිදුරටත් පැවසුවේ, “මෙය කාලෝචිත සහයෝගීතාවයකි. මන්දයත් විවද අවස්ථාවන් මේ හරහා උත්පාදනය වනු ඇත.  එය අපගේ ආයතන දෙකටම පමණක් නොව සමස්තයක් ලෙස අප සේවය කරන ව්‍යාපාරික පරිසරයට ද අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇත.”

මෙම අවබෝධතා ගිවිසුම සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ අමිල දායකත්වය වෙනුවෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ සියලුම පාර්ශ්වවලට ස්තූතිය පුද කරමින් මහාචාර්ය ජයන්ත දේවසිරිමහතා ප්‍රකාශ කළේ, “මෙම මුලපිරීමත් සමඟ අපගේ ජාලය තවදුරටත් පුළුල් කිරීමට අපි අපේ අවධානය යොමු කර ඇත්තෙමු. අපගේ පරමාර්ථය වන්නේ අලෙවිකරණයේ දියුණුව පමණක් නොව CSE ශාඛා ජාලය හරහා පිරිනමනු ලබන අපගේ වැඩසටහන් හරහා මූල්‍ය සාක්ෂරතාවය සහ ප්‍රාග්ධන වෙළඳපල විෂය ඒකකයන් ප්‍රවර්ධනය කිරීමයි.”

Views: 0