ලංකා හොස්පිටල්ස් වෙතින් කොටසකට රුපියල් 1.50 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා හොස්පිටල්ස් පීඑල්සී සමාගම (LHCL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම සඳහන්කරයි.

මෙය 2023/24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස නොවැම්බර් 20 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ඔක්තෝබර් 31 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම පවසා සිටියි.

අවසන් වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය සිකුරාදා දිනයේදී ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 124.75ක් ලෙස සටහන් විය. එය ඊට පෙර දිනයේ පැවැති රුපියල් 118.25ට සාපේක්ෂව රුපියල් 6.50ක එනම් 5.50%ක ඉහළ යාමකි.

Visits: 51