යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගම Dutch Lanka Trailer Manufactures Ltd සමාගම මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගම (UML.N0000) මෙරට ක්‍රියාත්මක කන්ටේනර් බහාලුම් ප්‍රවාහන ට්‍රේලර් යන්ත්‍ර නිෂ්පාදන සමාගමක් වන Dutch Lanka Trailer Manufactures Ltd සමාගම මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

මෙහිදී එම සමාගම අයත් TRF Singapore Pte. Ltd සමාගම සමගින් අද දිනයේදී ඇති කරගත් එකඟතාවක් යටතේ Dutch Lanka Trailer Manufactures Ltd සමාගමේ 100%ක කොටස් ප්‍රතිශතයක් මෙලෙස අත්පත් කරගෙන තිබේ.

මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 7ක් (700,000,000ක්) බව යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගම සඳහන් කරයි.

1992 වසරේදී පිහිටුවුණු මෙම Dutch Lanka Trailer Manufactures Ltd සමාගම ආයෝජන මණ්ඩල ලියාපදිංචි සමාගමකි.

මෙම සමාගම මගින් වරාය පරිශ්‍රයන් වෙත සහ මහාමාර්ගයේ ගමන් කිරීම සඳහා ගැලපෙන ආකාරයේ ට්‍රේලර් යන්ත්‍ර නිර්මාණය, නිෂ්පාදනය යනාදිය සිදු කරයි. මෙහිදී දේශීය වෙළෙඳ පොළ වෙත මෙන්ම අපනයන වෙළෙඳ පොළ සඳහාද එම සමාගම ට්‍රේලර් නිපදවයි.

යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගම අද වන විට මෙරට තුළ මෝටර් රථ, ලිහිසි තෙල්, විදුලිය සහ බලශක්ති මෙන්ම නිෂ්පාදන සහ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ මෙහෙයුම් සිදු කරයි.

යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් 51%ක් හිමිව ඇත්තේ RIL Property PLC සමාගම වෙතයි. එසේම ආර්.ආර්. ටකහාෂි මහත්මිය සහ එම්.ඒ. යාසීන් මහතා අතර පිළිවෙලින් 11.66%ක් සහ 11.06%ක් බැගින් කොටස් බෙදී ගොස් තිබේ.

Visits: 95