සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්, හිල්ටන් හෝටලය සහ රක්නා ලංකා ධම්මිත පෙරේරා යටතට

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාට අයත් විෂය පථය යටතට තවත් ආයතන තුනක් පැවරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඊයේ නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම පැවරීම නිල වශයෙන් දැනුම් දී ඇත.

ඒ අනුව මෙතෙක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ පැවැති සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම සහ කොළඹ හිල්ටන් හෝටලය අයත් හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම මෙන්ම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැති රක්නා ආරක්ෂණ ලංකා සමාගම මෙලෙස අලුතින් පිහිටවුණු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පැවරී තිබේ.

මේ අතරින් සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් සමාගම 100%ක රජයේ පූර්ණ හිමිකාරීත්වය සහිත නිශ්චල දේපළ සහ දේපළ සංවර්ධන සමාගමකි. එය කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත කිරිමටත් රජයේ සැලසුම විය. කෙසේ වෙතත් විපක්ෂයෙන් එල්ල වූ විරෝධයත් සමගින්ම මෙම සමාගමේ කටයුතු ඉදිරියට පවත්වාගෙනයාමට නොහැකි විය.

එසේම රක්නා ආරක්ෂණ ලංකා සමාගම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන අවධියේදී ආරක්ෂක අමාත්‍යාංශය මගින් ස්ථාපිත කරවූවකි. එම අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පවතින්නකි.

Views: 239