JAT Holdings PLC දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමට HDFC සමග අවබෝධතා ගිවිසුමකට

ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings PLC, පසුගියදා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development Finance Corporation Bank of Sri Lanka – HDFC) සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

මෙය දිවයින පුරා දැව කාර්මිකයන් හා පින්තාරු ශිල්පීන් පුහුණු කිරීම ඉලක්ක කරගත් ‘JAT පින්තාරු ශිල්පී අභිමන්’ වැඩසටහනේ තවත් ඉදිරි පියවරකි.

JAT ශ්‍රවණාගාරයේදී පැවති මෙම ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයට JAT Holdings PLC සහ HDFC බැංකුව යන පාර්ශ්ව නියෝජනය කරන නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ දැව පින්තාරු ශිල්පීන්ගේ හැකියාවන් වර්ධනය කිරීම මෙන්ම සමස්තයක් ලෙස අදාළ ක්ෂේත්‍ර වල ප්‍රමිතිය ඉහළ නැංවීම ඉලක්ක කරගත් ‘JAT පින්තාරු ශිල්පී අභිමන්’ වැඩසටහන, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සමග එක්ව ක්‍රියාවට නංවනු ලැබේ. මෙමගින් දැව කාර්මිකයන්ට හා පින්තාරු ශිල්පීන්ට, තීන්ත ආලේප කිරීමේ නිවැරදි හා වෘත්තීය ක්‍රමවේදයන් සම්බන්ධයෙන් නිසි පුහුණුවක් ලබමින්, NVQ Level 3 මට්ටමේ සුදුසුකම් සපුරාලීම සඳහා අවස්ථාව ලබා දෙයි. මේ සම්බන්ධ සියලු පිරිවැය දරනුයේ JAT Holdings PLC විසිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් JAT Holdings PLC හි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ පින්තාරු ශිල්පීන් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා HDFC බැංකුව සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි. “මීට වසර 30 කට පෙර මා JAT ආරම්භ කළේ, පින්තාරුකරුවන්ට වෘත්තිකයන් බවට පත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ ඉලක්කය මූලික කරගෙනයි. වගකීම් සහගත සමාගමක් වශයෙන්, තරුණ පරපුරේ හැකියාවන් වැඩිදියුණු කරමින්, රට පෙරට රැගෙන යාම සඳහා අවශ්‍ය ශක්තිය ඔවුන් වෙත ලබාදීමට අප කටයුතු කළ යුතුයි. වෘත්තිකයන්ට ණය පහසුකම් ලබාගැනීමට හැකි වූ විට, ඔවුන්ට බාධාවකින් තොරව තම වෘත්තීය හා ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට අවස්ථාව ලැබෙනවා. මෙය සමස්ත ක්ෂේත්‍රයේම දියුණුවට බලපාන සාධකයක්.” ඊලියන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.

“HDFC බැංකුවේ එක් අරමුණක් වන්නේ ග්‍රාමීය ප්‍රදේශ වල සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සහ ස්වයං රැකියාලාභීන් ඇතුළුව අවම මූල්‍ය පහසුකම් හිමි ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීමයි. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සහ ක්ෂුද්‍ර ග්‍රාමීය ව්‍යවසායකයින් දහස් ගණනක් මූල්‍යමය වශයෙන් සවිබල ගන්වමින්, ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීමට සහ ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට අවශ්‍ය අත්වැල ලබාදීමට අප කටයුතු කරමින් සිටිනවා. JAT Holdings PLC සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වයත්, එම උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” HDFC බැංකුවේ සභාපති වසන්ති මංචනායක මහත්මිය පැවසුවා ය.

“දෛනික වැටුප් උපයන්නන් වශයෙන් දැව පින්තාරු ශිල්පීන් බොහෝ දෙනෙකුට විධිමත් ණය පහසුකම් ලබාගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට අගනා ව්‍යාපාරික අවස්ථා රාශියක් මගහැරී යනවා. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, සුදුසුකම් ලත් වෘත්තිකයන් බවට පත්වීම සඳහා අවශ්‍ය සහයෝගය සහ ආර්ථික ශක්තිය මෙම පුද්ගලයන් වෙත ලබාදීමයි. මෙමගින් නව ව්‍යවසායකත්ව සම්ප්‍රදායක් නිර්මාණය වනු ඇති අතර, ඒ ඔස්සේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගත අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ලැබීමට මෙම වෘත්තිකයන්ට අවස්ථාව උදා වේවි.” JAT Holdings PLC හි අධ්‍යක්ෂ (විකිණුම් හා තාක්ෂණ) වසන්ත ගුණරත්න මහතා පැවසී ය.

මෙම වැඩසටහන යටතේ, JAT හි නිර්දේශය ලබන පින්තාරු ශිල්පීන්ට ණය පහසුකම් ලබා ගැනීමටත්, ණය නිකුත්කිරීමේ ක්‍රමවේදයක් සහ ණය අයකර ගැනීමේ ක්‍රමවේදයක් සැලසුම් කිරීමටත් අවස්ථාව ලැබේ. තීන්ත ආලේපන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමටත්, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමටත් ඔවුන්ට මෙම ණය මුදල් භාවිතා කළ හැක. ගිවිසුමේ කොටසක් ලෙස, වැඩසටහනට සහභාගිවන්නන්ට විවිධාකාර අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් සහභාගී වෙමින් තම ව්‍යාපාරික හා මූල්‍ය දැනුම වැඩිදියුණු කරගැනීමටද අවස්ථාව හිමි වේ.

Views: 94