චීනය කෙන්යාවේ නයිරෝබිහිදී ඉදිකළ අධිවේගී මාර්ගය ඔස්සේ දිවයාමට අවස්ථාවක්

චීනය විසින් කෙන්යාවේ නයිරෝබි අගනුවර තුළ ඉදි කරන ලද අධිවේගී මාර්ගය ඔස්සේ දිවයාමේ අවස්ථාවක් එරට වැසියන් හට ලබන මැයි 08 වැනිදා උදා වන බව කෙන්යා රජය පවසයි.

මෙම නව අධිවේගී මාර්ගය නිල වශයෙන් විවෘත කිරීමට සමගාමීව පැවැත්වීමට නියමිතව නයිරෝබි නගර මැරතන් තරගය (Nairobi City Marathon) යටතේ මෙම අවස්ථාව ලබාදීම සැලසුම වී තිබේ. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ පළමුවරටයි.

කෙන්යාවේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ කලා සහ සමාජ සංවර්ධන අරමුදල එක්ව මෙම අවස්ථාව සංවිධානය කරයි. ඒ අනුව එරට මුල් පෙළේ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ සාමාන්‍ය පුරවැසියන්ට එදින මෙම අධිවේගී මාර්ගය ඔස්සේ දිවයන්නට හැකි බව සංවිධායකයන් පවසා සිටියි.

චීනයේ තීරයක් සහ මාවතක් යන වැඩසටහන හරහා ලබාදුන් ණය ආධාර යටතේ එරට කොන්ත්‍රාත්කරුවන් අතින් ඉදි වුණු මෙම අධිවේගී මාර්ගය කිලෝමීටර් 27ක දුරකින් යුක්ත වෙයි.

ඒ අනුව කිලෝමීටර් 42, කිලෝමීටර් 21, කිලෝමීටර් 10 සහ කිලෝමීටර්5ක් ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ මෙම මැරතන් තරගාවලිය සංවිධානය සැලසුම වී තිබේ.

“ලබන මැයි 08 වැනිදා නයිරෝබි අධිවේගී මාර්ගයේදී පැවැත්වෙන නයිරෝබි නගර මැරතන් තරගයේ පළමු අදියර සඳහා සහභාගි වන ලෙස සියලුම ධාවකයන්ට නයිරෝබි නගර බලධාරීන් ආරාධනා කරනවා. නයිරෝබි නගරය ඉහළ සිට දැකබලා ගනිමින් මෙම නයිරෝබි අධිවේගී මාර්ගය ඔස්සේ දිවයන පළමු පිරිස බවට පත්වෙන්න.” යනුවෙන් සංවිධාකයන් මෙහිදී සඳහන් කර තිබේ.

ලබන මැයි 08 වැනිදා කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යට්ටා අතින් මෙම අධිවේගී මාර්ගය විවෘත කිරිමට නියමිතව ඇති අතර, මේ වනවිටත් චීන කොන්ත්‍රාත්කරුවන් මෙම අධිවේගී මාර්ගයේ අවසන් සකස් කිරීම් සිදු කරමින් සිටිනබවත් පැවසෙයි.

මෙම අධිවේගී මාර්ගය හේතුවෙන් නයිරෝබි නගරයේ දකුණු දිග සිට බටහිර දක්වා මෙතෙක් ගත වූ පැය දෙකක ගමන විනාඩි 20ක් දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි වාර්තා සඳහන් කරයි.

Views: 110