IMF ගිය ශ්‍රී ලංකා නියෝජතයන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ නීති විශේෂඥයෙකු හමුවෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මූලස්ථානය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා මුදල් ඇමතිවරයා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම අද දිනයේදී එම අරමුදල හා සම්බන්ධව කටයුතු කරන නීති උපදේශකවරයෙකු වන සම්මානිත මහාචාර්ය ලී බුෂෙයිට් සමගින් සාකච්ඡාවක් පැවැත්වූ බව වාර්තා වෙයි.

මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු වන ෂමිර් සවාහිර් මහතා විසින් තබන ලද ට්විටර් පණිවුඩයක මෙම අවස්ථාව සම්බන්ධයෙන් සඳහන්ව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකික නිලධාරියෙකුගේ කාර්යාලයේදී මෙම හමුව සංවිධානය ඇත. මෙහිදී ශ්‍රී ලංකාව සතු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා පැවැත්වී තිබේ.

ශ්‍රී ලංකාව සතු ණය ප්‍රතිව්‍යුහගත කිරිම සහ ණය තිරසරභාවය පිළිබඳව ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කරන ලද ඉහල බලතල සහිත උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් වන ආචාර්ය ශාන්ත දේවරාජන්, ආචාර්ය ෂාර්මිනි කුරේ සහ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.

ලී බුෂෙයිට් එඩින්බර්ග්හි නීති විද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයෙකි. ඒ මහතා මේ වන විට ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්තාවන් 24කට වඩා සංඛ්‍යාවක් වෙත දායක වී තිබෙන බව සවාහිර් මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

එසේම ග්‍රීසිය මුහුණ දුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයද සමගින් එම අර්බුදයෙන් මිදීමට එරටට අවශ්‍ය නීතිමය උපදෙස් ලබා දුන් කණ්ඩායමේ ප්‍රධානියා ලෙසින්ද කටයුතු කළේ ලී ලී බෙෂෙයිට් බවද එහි සඳහන්ව තිබේ.

Visits: 118