රු.බිලියන 7ක HNB ණයකර නිකුතුවට පළමු දිනයේදීම අධිඉල්ලුමක්

හැටන් නැෂනල් බැංකුව (HNB) විසින් අද (ජූලි 15දා) දිනයේදී විවෘත කළ රුපියල් බිලියන හතක් වටිනා ණයකර නිකුතුවට එහි පළමු දිනයේදීම අධි ඉල්ලුමක් හිමිව ඇතැයි වාර්තා වෙයි.

මෙම ණයකර නිකුතුවෙහි ඒකාබද්ධ කළමනාකරුවා ලෙස කටයුතු කළ CAL ආයතනය සටහනක් තබමින් මේ පිළිබඳ අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් මෙහිදී ඉදිරිපත් වූ ඉල්ලුම්පත්‍ර ප්‍රමාණය සහ එහි වටිනාකම් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැත.

“මෙම නිකුතුව වෙත අතිසාර්ථක ලෙස අධිඉල්ලුමක් හිමි කරගැනීමට සමත්වීම ගැන හැටන් නැෂනල් බැංකුව වෙත අපගේ සුභපැතුම් පළ කරනවා” යනුවෙන් CAL එහි සඳහන් කර තිබේ.

බාසෙල් III සම්මුතියට අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිතනොවූ, අප්‍රධාන, නිදහස් කරවාගත හැකි ණයකර ලෙස මෙම නිකුතුව සිදු විය. මෙහිදී පළමු අදියර ලෙස ණයකර මිලියන 50ක් (50,000,000ක්) නිකුත් වූ අතර ඊට හිමි වූ අධි ඉල්ලුමත් සමගින්ම තවත් අමතර ණයකර මිලියන 20ක් (20,000,000ක්)  නිකුත් කිරීමත් සිදුව තිබේ.

මෙම එක් ණයකරයක් රුපියල් 100 බැගින් මිල කෙරී තිබූ අතර, සමස්ත නිකුතුව හරහා රැස් කරගත් මුදල රුපියල් බිලියන 7 කි. මෙහිදී වසර 10කදී (2021/31) නැවත මුදවා ගත හැකි ණයකර ලෙස නිකුත් කර ඇති අදාළ ණයකර නිකුතු දෙකම 9.50ක වාර්ෂික ස්ථාවර පොළී අනුපාතයක් යටතේ සිදු කෙරී තිබේ. එහිදී පොළී ගෙවීම වාර්ෂිකව සිදු කෙරෙන බවත් හැටන් නැෂනල් බැංකුව සඳහන් කර තිබුණි.

Views: 195