LOLC හෝල්ඩිංග්ස් සමාගම රුවන්ඩාවේ Unguka බැංකුව මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි පරිපාලිත සමාගමක් වන LOLC Mauritius Holdings Limited සමාගම අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි රුවන්ඩා රාජ්‍යයේ බැංකුවක් වන Unguka Bank PLC හි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් අතරින් 90%ක් මිලදී ගත් බව පවසයි.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

එම සමාගමට අනුව Unguka Bank PLC බැංකුවෙහි කොටස් 42,612,489ක් මෙහිදී මිලදී ගෙන ඇති අතර, කොටසක වටිනාකම රුවන්ඩානු ෆ්‍රැන්ක් 114.43ක් එනම් ශ්‍රී ලංකා රුපියල් 30.83කි.

ඒ අනුව මෙම සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුවන්ඩානු ෆ්‍රෑන්ක් 5,333,934,000ක් එනම් ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.43ක් (1,436,960,935.77) ලෙස සටහන්ව තිබේ.

මෙම Unguka Bank PLC බැංකුව රුවන්ඩාවේ මහ බැංකුවේ (National Bank of Rwanda) බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය බැංකුවකි.

2005 වසරේදී පිහිටවුණු බැංකුව මගින් ගනුදෙනුකරුවන්ගේ තැන්පතු භාරගැනීම ණය අනුමත කිරීමමෙන්ම වෙනත් මූල්‍ය සේවාවන් ලබාදුන් බව පවසයි. අද වනවිට එම බැංකුව රුවන්ඩාවේ දිස්ත්‍රික්ක 09ක් පුරා ව්‍යාප්තව තිබේ.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම අප්‍රිකාව තුළ සිය මෙහෙයුම් තවදුරටත්පුළුල් කරමින් සිටින අතර, මෙම අත්පත් කරගැනීමත් එහි එක් අවස්ථාවක් ලෙස සටහන්ව තිබේ. විශේෂයෙන් අප්‍රිකාව තුළ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ එම සමාගමේ ඉලක්කය වී තිබේ.

Views: 330