බ්‍රවුන්ස් සහ සමාගම රු.බිලියන 5ක් වටිනා ණයකර නිකුතුවකට සැරසෙයි

LOLC සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම ණයකර කොටස් නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත, ජ්‍යෙෂ්ඨ, ආපසු මුදවා ගත හැකි ණයකර කොටස් මිලියන 50ක් (50,000,000ක්) මෙහිදී නිකුත් කරන බව පවසයි.

මෙම එක් ණයකර කොටසක් රුපියල් 100.00ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවේම වටිනාකම රුපියල් බිලියන5ක් ලෙස සඳහන්ව තිබේ.

මෙහිදී අදාළ ණයකර නිකුතුව කොළඹ කොටස් හුවමාරුව තුළදී සිදු කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇතැයිද බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

කෙසේ වෙතත් මෙම ණයකර නිකුතුව හරහා අරමුදල් රැස් කරගැනීම කවර හේතුවක් මත සිදු කරන්නේද යන්න සහ එම මුදල් කෙසේ යොදවා ගන්නේද යන්න පිළිබඳව බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි සමාගම මෙහිදී අනාවරණය කර නැත.

Views: 686