ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල

ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සංජය මොහොට්ටාල මහතා පසුගියදා වැඩ භාරගත් බව එම මණ්ඩලය නිවේදනයක් මගින් පවසා සිටියි.

පසුගිය 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරූ චම්පිකා මලල්ගොඩ මහත්මිය වෙනුවට මොහොට්ටාල මහතා මෙලෙස පත් කර තිබේ. 

මොරටුව විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් හිමි කරගෙන ඇති මොහොට්ටාල මහතා, ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණය පිළිබඳ ඇන්ඩර්සන් පාසැලෙන් ව්‍යාපාර පරිපාලනවේදී උපාධියක්ද හිමි කරගෙන ඇත.

මොහොට්ටාල මහතා මීට පෙර බොස්ටන් කන්සල්ටින්ග් ගෘප්හි කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ හවුල්කරුවෙකු ලෙසද කටයුතු කර තිබේ.

ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීමෙන් අනතුරුව එහි ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය අමතා ඇති ඒ මහතා, ශ්‍රී ලංකාව මීටත් වඩා වැඩි ආයෝජන ආකර්ෂණයක් සහිත ස්ථානයක් බවට පත් කරගැනීම සඳහා වන සිය දැක්ම පිළිබඳව කරුණු දක්වා ඇත. 

එසේම මෙරට ආර්ථිකය තුළ තොරතුරු තාක්ෂණය/දැනුම මූලික කරගත් ක්ෂේත්‍රයන්හි සිදුවිය යුතු වර්ධනය පිළිබඳවද ඔහු අදහස් පළ කර තිබේ.විශේෂයෙන්ම ගෝලීය ආයෝජකයන්ට ගැලපෙන ලෙස මෙරට වර්තමාන ශ්‍රමබලකාය සකස් කිරීම අතිශය වැදගත් බවද හෙතෙම සඳහන් කර ඇත. එසේම ආයෝජන මණ්ඩලයේ කටයුතු ඩිජිටල්කරණයට ලක් කරමින්, ආයෝජකයන්ට ආයෝජන මණ්ඩලය හරහා උපරිම සේවාවක් ලබා දීමට වගබලාගත යුතුව ඇති බවත් සංජය මොහොට්ටාල මහතා පෙන්වා දී ඇත.

Visits: 43

Leave a Reply

Your email address will not be published. Required fields are marked *