ක්‍රිකට් තරග විකාශන අයිතිය ගැන ක්‍රීඩා ඇමති තීරණය අද

ක්‍රිකට් තරග විකාශන අයිතිය ගැන ක්‍රීඩා ඇමති තීරණය අද

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙරටදී සහභාගි වන ක්‍රිකට් තරගවල ජාත්‍යන්තර රූපවාහිනි, ගුවන් විදුලි සහ ඩිජිටල් විකාශන අයිතිය ලබා දීම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ තීරණය අද සන්ධ්‍යාවේදී ලබා දීමට නියමිතව ඇතැයි “Economy & Business Sri Lanka” වෙත වාර්තා වෙයි.

පසුගිය සතියේදී මෙම විකාශන අයිතිය ලබාදීම සම්බන්ධයෙන් වන ලංසු කැඳවීම සිදුවුණු අතර එය නිසියාකාරයෙන් පැවැත්වීමට නොහැකි වීම නිසා තවමත් සුදුසු සමාගමක් වෙත මෙම අවස්ථාව ප්‍රදානය කිරීමක් සිදුව නැත.

එම දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව වෙත සහභාගි වී සිටීමත්, පසුව ඒ සඳහා යෙදවුණු අමතර දිනය රජයේ නිවාඩු දිනයක්වීම නිසා අමාත්‍යවරයාගේ නියෝජිතයෙකු ඊට සහභාගි නොවීමත් එය සාර්ථක කරගත නොහැකි වී ඇත. 

එසේම මෙතෙක් එම විකාශන කටයුතු සිදු කළ Ten Sports නාලිකාව ලංසු ඉදිරිපත් කිරීමෙන් ඉවත්වීමත්, දැනට ලංසුව සඳහා ඉදිරිපත්ව ඇති නාලිකා දෙක තවමත් ජාත්‍යන්තරව පිළිගත හැකි මට්ටමේ ක්‍රිකට් තරග විකාශනයක් සඳහා සුදුසු සමාගම් නොවීමත් ගැටලුව තවත් උග්‍ර කර තිබේ. 

මේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පේරුම මහතා අද හමුවීමට නියමිතව ඇති අතර, පවතින අර්බුදය සම්බන්ධයෙන් ඔවුන් අමාත්‍යවරයාට එහිදී කරුණු දැක්වීමට බලාපොරොත්තුව සිටියි.

දැනට එම විකාශන අයිතිය හිමි සෝනි පික්චර්ස් නෙට්වර්ක් පෞද්ගලික සමාගමට අයත් Ten Sports නාලිකාව වසර 10ක් සඳහා ලබා ගෙන ඇති මෙම ක්‍රිකට් තරග නිෂ්පාදනය සහ විකාශනයට සම්බන්ධ හිමිකම මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතව ඇත. මේ දිනවල පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ තරග සංචාරය එම කොන්ත්‍රාත්තුව මත ඔවුන් සිදුකරන අවසන් තරග විකාශයද වෙයි.

ඒ අනුව අප්‍රේල් මාසයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල විකාශන අයිතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැකි ඉක්මණින්ම සුදුසු සමාගමක් තෝරාගත යුතුව ඇත. ඒ යටතේ දකුණු අප්‍රිකාව මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව ඉන්දියාව සහ බංග්ලාදේශයත් මෙරටට පැමිණෙයි. මීට අමතරව නවසීලන්ත කණ්ඩායමද මෙරට සංචාරය කිරීමට නියමිතව ඇත. 

මෙහිදී අදාළ විකාශන අයිතිය 2020 සිට 2023 දක්වා වසර තුනක් සඳහා පමණක් ලබා දෙන අතර, සෝනි පික්චර්ස් නෙට්වර්ක් සමාගම මෙවර ලංසු කැඳවීමේ අවසන් අවස්ථාවේදී ඉන් ඉවත් විය. මෙවර ලංසු කැඳවීමේ ක්‍රියාවලිය තුළ විනිවිදභාවයක් නොමැති බවට ඔවුන් එහිදී චෝදනා කර තිබුණි.

කෙසේ වෙතත් මීට පෙර ටාජ් ටෙලිවිෂන් සමාගම යටතේ Ten Sports නාලිකාව හරහා පසුගිය වසර 10ක කාලයකට අදාළ විකාශන හිමිකම ලබා ගැනීමේ අවස්ථාවේදී සිදුවූ බව පැවසෙන දූෂණ වංචා පිළිබඳව එල්ල වන චෝදනාවත්, මෙවර ලංසු කැඳවීමේදී ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඒ සඳහා යම් කාලයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේපවීමත් මෙලෙස ඉවත්ව යාමට හේතුව වී ඇති බවට කරුණා වාර්තා වී ඇත.

ඒ අනුව දැනට මෙම ලංසු කැඳවීම සඳහා ඉතිරිව සිටින්නේ මේ වසරේ ජනවාරි 28 ඇරඹූ Lex Sportel Vision පෞද්ගලික සමාගමත්, 2017 වසරේ ඇරඹූ Lex  Entertainment and Media පෞද්ගලික සමාගමත් යන යන සමාගම් දෙක පමණකි. 

ඒ අතරින් Lex Sportel Vision සමාගම මේ වනවිට 1Sport ලෙස ක්‍රීඩා නාලිකාවක් පවත්වාගෙන යයි. මීට පෙර එම සමාගම ජාත්‍යන්තර ඩිස්කවරි නාලිකාව සමගින් එක්ව Dsport නමින් නාලිකාවක් පවත්වාගෙන එම සිදු විය. (2018 වසරේදී මෙරට පැවැත්වූ නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය විකාශය කළේද මෙම Dsport නාලිකාව හරහාය) අද වනවිට එම නාලිකාව විකාශය කරන්නේ Lex  Entertainment and Media පෞද්ගලික සමාගම යටතේය.

මෙම නාලිකා දෙකම මෙරට ක්‍රිකට් තරග විකාශන අයිතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලංසු ඉදිරිපත් කර ඇත්තේ එකම ලිපිනයකින් වීමත් මෙහි ඇති ගැටලුකාරී තත්ත්වයයි.

එසේම මීට පෙර Dsport නාලිකාව යටතේ විකාශය වූ වැඩසටහන් සියල්ලම 1Sport නාලිකාව යටතේ විකාශය කිරීමට කටයුතු යෙදී ඇත. එහිදී Lex  Entertainment and Media හි Dsport නාලිකාව එහි මව් නාලිකාව වන Eurosport ලෙස නම වෙනස් කළ යුතුව ඇතැයිද 1Sport නාලිකාව හිමි Lex Sportel Vision සමාගම පවසා ඇත. මේ  කරුණ සම්බන්ධයෙන් අදාළ සමාගම් දෙකම මේ වනවිට නඩුවකට පෙනී සිටින අතර, එහි අවසන් තීන්දුව ලබා දීමට නියමිතව ඇත්තේද ලබන මාර්තු 30 වැනිදාය.

මේ අතර, අද වනවිට මෙම සමාගම් දෙකම ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර විකාශන තරග අවස්ථාව හරහා සිය ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට මග බලමින් සිටින බවත් වාර්තා සඳහන් කරයි. 

මේ තත්ත්වයත් සමගින්ම ගැටලුකාරී Lex Sportel Vision සමාගමට හෝ Lex  Entertainment and Media සමාගම වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර තරග නිෂ්පාදන සහ විකාශන අයිතිය ලබා දෙනවාද, එසේ නැත්නම් ඒ චෝදනා සහිත සෝනි පික්චර්ස් නෙට්වර්ක් පෞද්ගලික සමාගමටම මෙම කොන්ත්‍රාත්තුව ලබා දෙනවාද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අර්බුදයකට පත්ව සිටියි.

ඒ අනුව අද දිනයේදී සිදුවන අමාත්‍යවරයා හමුවීමේ අවස්ථාවේදී සෝනි පික්චර්ස් නෙට්වර්ක් පෞද්ගලික සමාගමට ඔවුන් ඉල්ලූ යම් කාලය ලබා දී ඉදිරියටත් එම සමාගමටම මෙම විකාශන අයිතිය ලබා දීමේ අවස්ථාවක් වෙත යාමට බොහෝ දුරට ඉඩ ඇතැයිද “Economy & Business Sri Lanka” වෙත වාර්තා වී ඇත.

Visits: 245

Leave a Reply

Your email address will not be published. Required fields are marked *