මෙරට ආසියානු සංවර්ධන බැංකු ප්‍රධානී ධුරය චීන ජාතිකයෙකුට

මෙරට ආසියානු සංවර්ධන බැංකු ප්‍රධානී ධුරය චීන ජාතිකයෙකුට

ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නව අධ්‍යක්ෂවරයා ලෙස චෙන් චෙන් මහතා පත් කර ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි. මෙතෙක් එම ධුරය දැරූ ශ්‍රී විදෝවාති මහත්මිය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන් විශ්‍රාම යෑමෙන් අනතුරුව හිස් වූ ධූරය සඳහා එම මහතා පත්වීම් ලැබ තිබේ. 

සිය නව පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති චෙන් මහතා, “ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවතින සබඳතාව තවත් ශක්තිමත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එරට රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සංවර්ධනය උදෙසා ලබා දිය හැකි දායකත්වයත් විමසා බලනවා.” යනුවෙන් සඳහන් කර ඇත.

චීන ජාතිකයෙකු වන චෙන් චෙන් මහතා 2007 වසරේදී ආසියානු සංවර්ධන බැංකුව හා සම්බන්ධවී ඇත. මීට පෙර ආසියානු සංවර්ධන බැංකුවේ පැසිපික් සහ දකුණු ආසියානු දෙපාර්තමේන්තු තුළ සේවය කර ඇත. එහිදී ඔහු බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, පැපුවා නිව් ගිනියාව, ටිමෝර්-ලෙස්තේ මෙන්ම ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක වූ ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘති භාරව සිට තිබේ.

ඒ අනුව මීට පෙර තමන් ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රවාහන ව්‍යාපෘතියක් යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කළ බවත්, එහිදී රටෙහි සංවර්ධන අවශ්‍යතාවන් පිළිබව තොරතුරු එක්රැස් කරගත් බවත් ඔහු පවසයි.

2017 වසරේ පටන් චෙන් චෙන් මහතා ආසියානු සංවර්ධන බැංකු උප සභාපතිවරයාගේ (මෙහෙයුම් 01) ජ්‍යෙෂ්ට උපදේශකවරයෙකු ලෙස කටයුතු කර තිබේ. එසේම ඔහු මධ්‍යම සහ බටහිර ආසියාව, සහ දකුණු ආසියාව ඇතුළු දියුණු වෙමින් පවතින රටවල් 16ක ක්‍රමෝපාය, ව්‍යාපාරික සැලසුම්, ව්‍යාපෘති සහ තාක්ෂණික සහයෝගිතාව පිළිබඳව වන තත්ත්ව කළමනාකරණ ප්‍රධානියා ලෙසද රාජකාරි කර ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

එම බැංකුව සඳහන් කරන ආකාරයට චෙන් චෙන් මහතා එක්සත් ජනපදයේ මෙන්ම චීනයේද විශ්වවිද්‍යාල කිහිපයකින්ම පශ්චාත් උපාධි ඇතුළු උපාධි හිමි කරගැනීමට සමත්ව ඇත.

Visits: 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *