කොමර්ෂල් බැංකු සභාපති කොළඹ කොටස් වෙළෙඳ පොළ අගයයි

කොමර්ෂල් බැංකු සභාපති කොළඹ කොටස් වෙළෙඳ පොළ අගයයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් බවට පත්වීම නිසා කොමර්ෂල් බැන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී වෙත ඉතා හොඳ ප්‍රතිලාභ අත්පත් කර ගැනීමට හැකි වූ බව එහි සභාපති ධර්ම ධීරසිංහ මහතා පැවසීය. එහිදී මූලිකවම සිය ප්‍රාග්ධන ඉහළ නංවා ගැනීම සඳහා එය හේතු වූ බවත්, ඒ හරහා සිය බැංකුවට ක්ෂේත්‍රය තුළ වඩා හොඳ ස්ථාවරත්වයකට පත්වීමට හැකි වූ බවත් හෙතෙම සඳහන් කරයි.

අද පෙරවරුවේදී කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භ කිරීම සනිටුහන් කරමින් එහි සීනුව නාද කිරීමේ අවස්ථාවට එක්වෙමින් සභාපතිවරයා මේ අදහස් පළ කළේය. කොමර්ෂල්  බැංකුව පිහිටුවා 2020 වසරට වසර 100ක් සපිරීම නිමිත්තෙන් මෙම අවස්ථාව සංවිධානය වී තිබුණි.

“කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තුගතවීමෙන් ගෙවී ගිය වසර කිහිපයේදී අපගේ ප්‍රාග්ධනය තවදුරටත් වර්ධනය කරගැනීමට අමතරව ව්‍යාපාරයක් ලෙස අපේ කටයුතු පවත්වාගෙන යාමටත් උදව් සපයා දුන්නා. මෙලෙස අප වෙළෙඳ පොළ වෙත පිවිසීම හරහා අපට හොඳ ආයෝජකයන් සහ නව ගනුදෙනුකරුවන් රැගෙන ආවා පමණක් නොව, අපගේ සන්නාමය සහ ජනතාව ඉදිරියේ ඇති ප්‍රතිරූපය සකස් කරගැනීමටත් එය දායක වුණා.” ධීරසිංහ මහතා එලෙස පවසා සිටියේය.

මේ අතරම රටක සංවර්ධනය සඳහා හේතුවන වඩාත් ඉහළ මට්ටමේ නව ආයෝජකයන් ආකර්ෂණය සඳහා ස්ථිර සහ ධනාත්මක කොටස් වෙළෙඳ පොළ ක්‍රියාකාරීත්වයක් පැවැතීම අනිවාර්යය බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.

“රටක තත්ත්වය ලෝකය කෙරෙහි විදහා දක්වන තවත් එක් නිදර්ශකයක් විදියට කොටස් වෙළෙඳ පොළ හඳුන්වන්න පුළුවන්. ස්ථිර සහ ධනාත්මක කොටස් වෙළෙඳ පොළක් හොඳ මට්ටමේ ආයෝජකයන් රටට කැඳවාවි. එය රටක සංවර්ධනය සඳහා අතිශය වැදගත් අවස්ථාවක්.” කොමර්ෂල් බැන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී සභාපති ධර්ම ධීරසිංහ මහතා මෙහිදී පැවසීය.

Visits: 158

Leave a Reply

Your email address will not be published. Required fields are marked *