ශ්‍රී ලංකාව 2024 ලෝක සංචාරක සහ සංචරණ සංවර්ධන දර්ශකයේ (TTDI 2024) 76 වැනි තැනට පසු බසී

ශ්‍රී ලංකාව මෙවර 2024 සංචාරක සහ සංචරණ සංවර්ධන දර්ශකයෙහි (TTDI – Travel and Tourism Development Index 2024) 76 වැනි ස්ථානයට පත්ව ඇතැයි වාර්තා වෙයි. ලෝක ආර්ථික ෆෝරමය මගින් මෙම දර්ශකය සකස් කරයි. 2019 වසරෙන් පසුව මෙම දර්ශකය නිකුත් වීම විශේෂත්වයකි.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයෙහි 75 වැනි ස්ථානයේ පසුවිය. ඒ අනුව වසර හතරකට පසුව ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පසුපසට ගොස් ඇතැයි සඳහන් වෙයි.

මෙහිදී ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3.69 කි. මෙය 2019 වසරේදී ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු සංඛ්‍යාවම වෙයි. එසේම මෙම ලකුණු සංඛ්‍යාව මෙවර TTDI දර්ශකයෙහි සාමාන්‍යයෙන් -6.8% ක වෙනසක් ලෙසත් සටහන්ව තිබේ.

මෙම දර්ශකය සකස් කිරීමේදී ලොව රටවල් 119ක් ආවරණය වන පරිදි සකස් කළ සමීක්ෂණ දත්ත යොදා ගෙන තිබේ. එහිදී එම රටවල සංවර්ධනයට දායකත්වය ලබාදීම සඳහා සංචාරක සහ සංචරණ ක්ෂේත්‍රය තුළ වඩාත් තිරසාර සහ ප්‍රත්‍යස්ත සංවර්ධනයක් වෙනුවෙන් එම රාජ්‍යයන් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ යනාදිය මෙහිදී සලකා බලා ඇත.

මෙම දර්ශකයේ දකුණු ආසියානු කලාපය තුළ ඉහළම ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාව වෙතයි. එය 39 වැනි ස්ථානය වන අතර, ඉන්දියාව 2019 වසරට සාපේක්ෂව ස්ථාන 10කින් පසුබැස ඇත. පාකිස්තානය 101 වැනි ස්ථානයේ පසුවන අතර, ඔවුන් 2019ට සාපේක්ෂ්ව ස්ථාන 20කින් ඉදිරියට පැමිණ තිබේ. එසේම නේපාලය සහ බංග්ලාදේශය පිළිවෙලින් 105 සහ 109 ස්ථානවල පසුවෙයි.

මෙම දර්ශකයේ පළමු ස්ථානය එක්සත් ජනපදය වෙත හිමිව ඇති අතර, ඔවුන් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 5.24 කි. දෙවැනි ස්ථානයේ පසුවන ස්පාඤ්ඤයට ලකුණු 5.18ක්ද, තෙවැනි ස්ථානයේ පසුවන ජපානයට ලකුණු 5.09ක්ද හිමිව තිබේ. එසේම ලකුණු 5.07ක් ලබාගනිමින් ප්‍රංශය සිව්වැනි ස්ථානයටත් ලකුණු 5.00ක් බැගින් ලබාගනිමින් ඔස්ට්‍රේලියාව සහ ජර්මනිය පිළිවෙලින් පස්වැනි සහ හය වැනි ස්ථාවලත් පසුවෙයි.

එක්සත් රාජධානිය ලකුණු 4.96ක් සමගින් හත්වැනි ස්ථානයේද, චීනය ලකුණු 4.94ක් සමගින් අට වැනි ස්ථානයටත් පත්ව තිබේ. ලකුණු 4.90ක් සමගින් ඉතාලිය 9 වැනි ස්ථානයටත් ලකුණු 4.81ක් සමගින් ස්විට්සර්ලන්තය 10 වැනි ස්ථානයටත් පත්ව තිබේ.

Views: 0