සණස සංවර්ධන බැංකුවෙහි ප්‍රධාන විධායක ප්‍රියන්ත තල්වත්ත ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සණස සංවර්ධන බැංකුවෙහි (SDB.N0000) ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ප්‍රියන්ත තල්වත්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වූ බව එම බැංකුව පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් එම බැංකුව මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව අද (පෙබරවාරි 20 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා මෙලෙස බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත්ව තිබේ.

මෙම ඉවත්වීම සිදුවන අවස්ථාව වන විට තල්වත්ත මහතා සතුව සණස සංවර්ධන බැංකුවෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොපැවැති බවත් බැංකුව පවසයි.

2022 නොවැම්බර් 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තල්වත්ත මහතා සණස සංවර්ධන බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කෙරිණි.

බැංකු ක්ෂේත්‍රයේ සෑම අංශයකම වසර 30කට අධික කාලයක අත්දැකීම් සහිත ප්‍රියන්ත තල්වත්ත මහතා, මෙම පත්වීම ලැබීමට පෙරාතුව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි (NTB) ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය. 2002 වසරේදී  කළමනාකරුවෙකු ලෙස එම බැංකුව වෙත එක් වූ ඒ මහතා 2020 වසරේදී මෙලෙස එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස තේරී පත්විය.

අද වනවිට සණස සංවර්ධන බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ දිනිති රත්නායක (සභාපති), මහාචාර්ය සම්පත් අමරතුංග (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), චාමින්ද කුමාරසිරි (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), හිරාන් ප්‍රසන්න ප්‍රේමරත්න (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), අභයවික්‍රම බණ්ඩා (ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ), තුසන්ත විජේමාන්න (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), සරත් නන්දසිරි (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), කොන්රඩ් ඩයස් (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), නවීන්ද්‍ර පෙරේරා සුරියආරච්චි (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), රොමානි ඩි සිල්වා (ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ), චන්දන දිසානායක (ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ) සහ ආචාර්ය මහේෂ් රනසෝම (ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ) යන මහත්ම මහත්මීන්ය.

වර්තමානයේදී සණස සංවර්ධන බැංකුවෙහි තනි වැඩිම කොටස් හිමිකාරීත්වය වන කොටස් 24,104,800ක් එනම් 15%ක් හිමිව ඇත්තේ LOLC සමාගමේ LOLC Investment holdings one (pvt) Ltd සමාගමටයි. එසේම කොටස් 19,019,271ක් එනම් 11.84%ක් සෙන්තිවර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමටත් හිමිව තිබේ.

මීට අමතරව Nederlandse Financierings-Maatschappij Voor Ontwikkelingslanden, Ayenka Holdings Private Limited සහ Belgian Investment Company for Developing Countries යන සමාගම් වෙත පිළිවෙලින් බැංකුවෙහි 10.96%ක්, 10.96%ක් සහ 10%ක කොටස් හිමිකාරීත්වයක් හිමිව පවතී.

Views: 0