හුනස් හෝල්ඩිංග්ස් සිංගප්පූරුවේ Sophia SG Management හා එකඟතාවක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හෝටල් සමාගමක් වන හුනස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (HUNA.N0000) හෝටල් කළමනාකරණය පිළිබඳ ප්‍රවීණයෙකු වන  ඒඩ්‍රියන් සෙචා (Adrian Zecha) සහ සිංගප්පූරුවෙහි ලියාපදිංචි Sophia SG Management Pte. Ltd සමගින් අවබෝධතා ගිවිසුමකට එළැඹුණු බව පවසයි.

පසුගිය ඔක්තෝබර් 13 වැනිදා සිදුව ඇති මෙම ගිවිසුමට පිවිසීම උපායමාර්ගික හවුල්කාරීත්වයක් ලෙස හුනස් හෝල්ඩිංග්ස් සඳහන් කරයි. මේ හරහා හුනස් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව මෙරට තුළ ඇති ආගන්තුකසත්කාර හෝටල් ව්‍යාපෘති සංවර්ධනය සහ ප්‍රවර්ධනය අරමුණ වී තිබේ.

Sophia SG Management Pte. Ltd සමාගම ජපානයේ ටෝකියෝ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන සිංගප්පූරුවෙහි Sophia Holdings Co. Ltd නම් සමාගමෙහි පරිපාලිත සමාගමකි.

විශේෂයෙන්ම සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ප්‍රවීණයෙකු වන ඒඩ්‍රියන් සෙචා සහ Sophia Holdings Co. Ltd සමගින් මෙලෙස අවබෝධතා ගිවිසුමකට පිවිසීමට හැකිවීම සුවිශේෂී අවස්ථාවක් වන බවත්, ඒ හරහා හුනස් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත ජපාන වෙළෙඳ පොළ වෙත මෙන්ම ගෝලීය වෙළෙඳ පොළ වෙතද විවරවීමේ අවස්ථාවක් උදා කරන බවත් එමසමාගම පවසයි.

ඒ අනුව මෙම හවුල්කාරීත්වය යටතේ ඉදිරියේදී ඉහළ මට්ටමේ ධනවත් පාරිභෝගිකයන් සඳහාම වෙන් වුණු සුඛෝපභෝගී හෝටල් සකස් කිරීම සඳහා කටයුතු යොදන බව හුනස් හෝල්ඩිංග්ස් පවසයි. ඒ හරහා ශ්‍රී ලංකාවේ ලෙෂර් ක්ෂේත්‍රය තුළ හුනස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි ක්‍රියාකාරීත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමත් සිය සන්නාමය ඉහළ ස්ථානයක රැඳවීමත් අරමුණ වී තිබේ.

මේ අතර, පසුගිය ජූලි මාසයේදී හුනස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම රජයට අයත් දේපළක් වන විසුම්පාය ගොඩනැගිල්ල හෝටලයක් බවට සංවර්ධනය කර එය කළමනාකරණය කිරීම සඳහා රජය සමග එකඟතාවකට පිවිසීමක්ද සිදුවිය.

මෙහිදී හුනස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ජාත්‍යන්තර ආගන්තුක සත්කාර හවුල්කරුවෙකු වන Azotels Hospitality Limited සමාගම හා එක්ව මෙම කටයුතු සිදු කිරීම සැලසුම වී තිබේ. හොංකොංහි පිහිටි Azotels Hospitility limited ආයතනයේ සභාපතිවරයා වන්නේ ඒඩ්‍රියන් සෙචා (Adrian Zecha) මහතාය.

මෙම විසුම්පාය ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරියට අයත් දේපළකි. ඒ අනුව හුනස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම, Azotels Hospitality Limited සහ නාගරිග සංවර්ධන අධිකාරිය අතර මෙලෙස ත්‍රෛපාර්ශ්වික එකඟතාව වෙත පිවිසීමක් සිදුවිය.

මෙම එකඟතාව යටතේ එම ඓතිහාසික ගොඩනැගිල්ල සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කිරීම සැලසුම වී තිබේ. එහිදී එම දේපළෙහි කළමනාකාරීත්වය Azotels සමාගම විසින් සිදු කරනු ඇති බවත්, ඒ හරහා ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක බවක් ඊට ලැබෙනු ඇති බවත් හුනස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසා තිබුණි.

Views: 72