කැලණි ටයර්ස් පීඑල්සී වෙතින් කොටසකට රුපියල් 5ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කැලණි ටයර්ස් පීඑල්සී සමාගම (TYRE.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 5ක් බැගින් මෙම ලාභාංශ ගෙවීමට සමාගම තීරණය කර තිබේ.

මෙය 2024 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබාදෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක් බවද සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 19 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) අගෝස්තු 29 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීමෙ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වූ පසුගිය අගෝස්තු 18 වැනිදා කැලනි ටයර්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 70ක් ලෙස සටහන්ව තිබුණි. පසුගිය වසරේ අගෝස්තු මාසයේදීද කැලනි ටයර්ස් පීඑල්සී සමාගම 2022/23 මූල්‍ය වර්ෂය සඳහා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස රුපියල් 5ක ලාභාංශ ගෙවීමක් සිදු කළේය.

2023 ජූනි 30 වැනිදා වනවිට සමාගමේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් වැඩිම කොටස් ප්‍රමාණය එනම් 38,100,178ක් එනම් 47.38%ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ සිල්වර්ස්ටොක් ලිමිටඩ් සමාගම වෙතයි.

Views: 81