දේශීය ව්‍යාපාර ගෝලීය වෙළෙඳපොළට සම්බන්ධ කිරීමට කොමර්ෂල් බැංකුව LEAP සහ Trade Club හඳුන්වා දෙයි

සිය ව්‍යාපාරික ගණුදෙනුකරුවන් සඳහා වෙළෙඳ අවස්ථා සැලකිය යුතු ලෙස පුළුල් කිරීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව Commercial Bank LEAP සහ Trade Club ලෙස නව සේවා දෙකක් දියත් කර ඇතැයි පවසයි.

මෙම සේවාවන් දෙකම දේශ සීමා හරහා සහ රට තුළ ජාලකරණ අවස්ථා ප‍්‍රවර්ධනය කරන පරිසර පද්ධති ලෙස නිර්මාණය කර ඇත. මේ අතරින් එක් සේවාවක් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමග සහයෝගයෙන් සහ අනෙක ස්වාධීනව හඳුන්වා දී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සමග සහයෝගයෙන් සංවර්ධනය කරන ලද ‘කොමර්ෂල් බෑන්ක් ලීප්’ (Commercial Bank LEAP) ලෙස සන්නාමය කර ඇති වැඩසටහන ව්‍යවසාය ඩිජිටල්කරණය සහ ව්‍යාපාර නංවාලීම කෙරෙහි අවධානය යොමු කරන පුළුල් ව්‍යාපාරික පරිසර පද්ධතියකි.

බැංකුවේම වේදිකාව වන ‘ටේ‍්‍රඩ් ක්ලබ්’ (Trade Club) වේදිකාව බැංකුවේ වෙළෙඳ ක්ෂේත‍්‍රයට අදාළ සේවා වලට පහසු ප‍්‍රවේශයක් ලබා දීමෙන් ආනයනකරුවන් සහ අපනයනකරුවන් සවිබල ගැන්වීම සිදුකරණු ලබයි.

මෙම වේදිකාවල සංවර්ධනය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා අදහස් දක්වමින්, ‘ගෝලීය වෙළෙඳපොළ වර්ධනය කිරීම සහ ජය ගැනීම උදෙසා දේශීය ව්‍යාපාරවලට සහාය වීම සහ සවිබල ගැන්වීම, කොමර්ෂල් බැංකුවට ව්‍යාපාරික ඉලක්කයක් මෙන්ම, ජාතික යුතුකමක්, ජාත්‍යන්තර වෙළෙඳාම සහ විදේශ විනිමය ඉපැයීම් වර්ධනය කිරීම සඳහා නව්‍ය ඩිජිටල් ක‍්‍රමවේද යුගයේ අවශ්‍යතාවයක් බවට පත්වී තිබෙනවා. මෙම සේවා දෙක සමග කොමර්ෂල් බැංකුව විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ ආයතනික ගණුදෙනුකරුවන්ට ගෝලීය ජාල වෙත ප‍්‍රවේශය ලබා දීම මගින්, නවීන තාක්‍ෂණය සහ පුළුල් පරාසයක ව්‍යාපාරික සේවාවන්ද ලබා දෙනවා. වේගයෙන් පරිණාමය වන ව්‍යාපාරික ක්ෂේත‍්‍රය තුළ තරගකාරීව සිටීමට ඔවුන්ට එය උපකාරී වෙනවා.’  යනුවෙන් පවසා සිටියේය.

‘කොමර්ෂල් බෑන්ක් ලීප්’ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව ගොඩනගා ඇති අතර, ජාත්‍යන්තර ව්‍යාපාර සක‍්‍රීය කිරීමේ වේදිකාවක් වන ‘ග්ලෝබල්-ලින්කර්’ (Global Linker) විසින් බලගන්වනු ලබයි. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ආයතනික ගණුදෙනුකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් විකිණීම සඳහා නොමිලේ මාර්ගගත වෙළෙඳසැල් නිර්මාණය කිරීමටද මේ අනුව හැකිවෙයි.

තිරසාර ව්‍යාපෘති ආකෘතියක් ලෙස සංවර්ධනය කර ඇති ‘කොමර්ෂල් බෑන්ක් ලීප්’ මගින් නීතිමය, මූල්‍ය අලෙවිකරණය, සැපැයුම් සහ නැව් සේවා වැනි ව්‍යාපාරික සේවා රැසක් ලබා දෙන අතර, ව්‍යාපාරික බුද්ධි දත්ත වලට ප‍්‍රවේශයක්ද ලබා දෙයි.

මේ අතර කොමර්ෂල් බැංකුවේ ටේ‍්‍රඩ් ක්ලබ් වේදිකාව, ජාලකරණ අවස්ථා සහ දැනුම බෙදා ගැනීමේ සැසිවලට අමතරව, එහි සාමාජිකයින්ට ප‍්‍රතිලාභ රැසක්ද ලබා දෙයි. ප්ලැටිනම්, රන්, රිදී සහ සම්භාව්‍ය යන ස්ථර හතරකින් සමන්විත මෙම පුරෝගාමී වේදිකාව සමගින් තම වෙළෙඳ ගණුදෙනුකරුවන් සඳහා මෙවැනි සමාජයක් ස්ථාපිත කළ රටෙහි පළමු බැංකුව කොමර්ෂල් බැංකුවයි.

Views: 64