බ්‍රිතාන්‍ය දූත පිරිසක් කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක් ආරම්භ කිරීමේ හැකියාව සොයා බලයි

කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක් ආරම්භ කිරීමේ හැකියාව සොයාබැලීමේ අරමුණින්, බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ස්වාධීන පාසල් තුනක ජ්‍යෙෂ්ඨ දූත පිරිසක් මේ මස මුලදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ කොළඹ වරාය නගරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙරටට පැමිණ තිබේ.

16 වැනි සියවස තරම් ඈතට දිවෙන ඉතිහාසයක් සහිත මෙම පාසල් ලොව කීර්තිමත්ම පාසල් එකතුවක් ලෙස සැලකේ. එමෙන්ම මෙම පාසල් වල සිසුන් රාශියක් විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරමින් සුප්‍රකට රසල් සමූහයට අයත් විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමටද සමත් වී ඇත.

දකුණු ආසියාවේ සුහුරු නගරයක් ලෙස ගොඩනැගෙන කොළඹ වරාය නගරය තුල ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අධ්‍යාපන පහසුකම් සහිත පාසලක් ස්ථාපිත කිරීම, මෙරට දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ජාත්‍යන්තර මට්ටමේ තරඟකාරී දරුවන් පිරිසක් මෙරටින් බිහිකිරීමට හැකිවන මහඟු අවස්තාවක් වනු ඇතැයිද අදහස වී තිබේ.

ලොව නවීනතම පහසුකම් රාශියකින් සමන්විතව දකුණු ආසියාවේ ජාත්‍යන්තර නගරයක් ලෙසින් ගොඩනැගෙන කොළඹ වරාය නගරය, ලොව නවීනතම පහසුකම් රාශියකින් සමන්විත වේ. තිරසාරත්වයට මුල්තැන දෙන එම නගරය සැලසුම් කර ඇත්තේ, සේවා සැපයීම පදනම් කරගත් විශේෂ ආර්ථික කලාපයක් වශයෙන් බවත් කොළඹ වරාය නගරය පවසයි.

ශ්‍රී ලංකාවට වර්ග කිලෝමීටර් 2.69 ක භූමි ප්‍රදේශයක් එක්කළ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන මත ක්‍රියාවට නැංවූ ව්‍යාපෘති අතරින් විශාලතම ව්‍යාපෘතිය ලෙස සැලකේ. මෙහි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු 2023 වසරේ 3 වන කාර්තුව වනවිට අවසන් වීමට නියමිතව ඇත.

Views: 62