කොටස් මිලියන 88ක් සමගින් සිංගප්පූරුවේ ඇන්ඩෘ ලී බ්ලූ ඩයමන්ඩ් ජුවලරි සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී සමාගමෙහි නව සභාපතිවරයා ලෙස සිංගප්පූරු ජාතික ඇන්ඩෘ ලී පත් කර ඇතැයි එම සමාගම පවසයි.

පසුගිය ජනවාරි 19 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව ඇතැයි එම සමාගම සඳහන් කරයි.

මෙතෙක් කලක් එම සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ සුදත් ජයසුන්දර මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා ලී මහතා පත් කෙරී තිබේ.

ඇන්ඩෘ ලී මහතා සිංගප්පූරුවෙහි පිහිටි ඇම්බ්‍රෝසියා මැනේජ්මන්ට් පෞද්ගලික සමාගමේ කොටස් හිමිකරුවෙකු මෙන්ම අධ්‍යක්ෂවරයාද වෙයි.

එම සමාගම පසුගියදා පෞද්ගලික නිකුත්වක් හරහා බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී සමාගමෙහි සමස්ත කොටස් අතරින් කොටස් මිලියන 88ක් (88,000,000ක්) මිලදී ගැනීමට කටයුතු යොදා තිබුණි.

ඒ අනුව මෙම පත්වීම ලබන අවස්ථාව වන විට ඇන්ඩෘ ලී මහතා සතුව ඇම්බ්‍රෝසියා සමාගම හරහා මෙම කොටස් ප්‍රමාණය හිමිව ඇතැයිද එම සමාගම පවසයි.

සිංගප්පූරුවෙහි පිහිටි මෙම ඇම්බ්‍රෝසියා මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සඳහා මූල්‍ය ගනුදෙනු වෙනුවෙන් වන ෆින්ටෙක් සහ උපදේශන සේවා ලබා දෙන ආයතනයකි.

මේ අතර ඇන්ඩෘ ලී මහතා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙරට ලියාපදිංචි  ඩිජිටල් අලෙවිකරණය හා සම්බන්ධ ලිමිටෝන් ලංකා (පෞද්) සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂවරයාද වෙයි.

මීට පෙර ඇන්ඩෘ ලී මහතා සිංගප්පූරුවෙහි පිහිටි ලැයිස්ිතුගත සමාගමක් වන පයින් කැපිටල් ගෘප් ලිමිටඩ් හි විධායක අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇත. එසේම මෙරට පිහිටි බීකන් (ඊස්ට් සිලෝන්) පෞද් සමාගම සහ ඊස්ට් සිලෝන් මැනේජ්මන්ට් ඇන්ඩ් ඩිවලොප්මන්ට් පෞද්ගලික සමාගමේද අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු කටයුතු කර ඇත.

ඒ මහතා සතුව දේපළ වෙළෙඳාම් පිළිබඳව මෙන්ම ගනුදෙනුකරුවන් කළමනාකරණය, උපායමාර්ගික සැලසුම් කරණය, සාංගමික ප්‍රතිපත්ති සංවර්ධනය පිළිබඳව වසර 15ක අත්දැකීම් සහිත බවත් පවසයි.

Views: 162