නොවැම්බර් මාසයේදී උද්ධමනය 65% දක්වා පහළට

මේ වසරේ නොවැම්බර් මාසයේදී මෙරට මතුපිට උද්ධමනය 65%ක් ලෙස සටහන්ව ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත උපුටා දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවැති 70.6%ක උද්ධමනය හා සැසඳීමේදී කැපී පෙනෙන පහළ වැටීමකි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මෙම මතුපිට උද්ධමනය මනිනු ලබයි.

මෙහිදී මූලිකවම ඔක්තෝබර් මාසයේදී 80.9%ක්ව පැවැති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේදී 69.8%ක් දක්වා පහත වැටී තිබේ. එහිදී නැවුම් මත්ස්‍ය, සීනි, සහල්, කරවල සහ කුකුලු මස් මිල ගණන්හි සැලකිය යුතු පහළ යෑමක් සිදුව තිබේ.

එසේම ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේදී පැවැති 61.3% සිට නොවැම්බර් මාසයේදී 60.4%ක් දක්වා සුළු වශයෙන් පහත වැටී තිබේ. මෙහිදී පෙට්‍රල්, නිවාස, විදුලිය, ජලය, ගෑස් සහ වෙනත් ඉන්ධන උප කාණ්ඩවල මිල ගණන් පහළ ගොස් ඇත.

කෙසේ වෙතත් රෙදිපිළි හා පාවහන්, සෞඛ්‍ය, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරන හා ගෘහ ඒකක නඩත්තුව සහ විවිධ භාණ්ඩහා සේවා උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ යෑමසිදුව තිබේ.

Views: 43