Zen Gate Global මෙරට නිෂ්පාදන සඳහා ඩිජිටල් තාක්ෂණ වෙළඳ ප්‍රවර්ධන වේදිකාවක් පිහිටුවීමට යයි

ඇමෙරිකා – ඕස්ට්‍රේලියා ඒකාබද්ධ Zen Gate Global ආයතනය මඟින් මෙරට මහා පරිමාණ, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන ඝෘජුවම ලෝක වෙළඳ ‍ පොළ වෙත යැවීම සඳහා ඩිජිටල් තාක්ෂණ වෙළඳ ප්‍රවර්ධන වේදිකාවක් සැලසුම් කර ඇතැයි පවසයි.

මෙම නවතම වෙළෙඳ ප්‍රවර්ධන වේදිකාව සම්බන්ධයෙන් මෙරට ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා පසුගියදා බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයේදී වැඩසටහනක්ද පැවැත්වුණි.

එසේම Zen Gate Global ආයතනය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය සමගින් අවබෝධතා ගිවිසුම් වෙත එළැඹීමද මෙහිදී සිදුවිය.

වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය වී තිබුණි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, Zen Gate ආයතනය දැවන්ත ආයෝජනයක් සිදු කරමින් ස්ථාපිත කරනු ලබන මෙම ඩිජිටල් තාක්ෂණය වෙළඳ ප්‍රවර්ධන වේදිකාව මෙරට කෘෂි භෝග අපනයන ක්ෂේත්‍රය නව පිබිදීමක් ඇතිවනු ඇතැයි සිය විශ්වාසය බව පවසා සිටියේය.

එසේම මෙරට තුළ නිර්බාධා කෘෂි නිශ්පාදන අපනයන සංස්කෘතියක් ඇති කිරීම සඳහා මෙය බෙහෙවින් ඉවහල්වනු ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම සඳහන් කළේය. මීට අමතරව ක්ෂේත්‍රයට අදාළව ඝෘජු රැකියා විශාල සංඛ්‍යාවක් මෙම ව්‍යාපෘතියට සමගාමීව සිදු කිරීමත් ආයතනයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රාජ්‍ය අමාත්‍යවරයා, “ප්‍රධාන කෘෂි නිෂ්පාදන බෝග අපනයන ක්ෂේත්‍රය මෙන්ම සෙසු අපනයන භෝග නිෂ්පාදන ක්ෂේත්‍රයන්ද ලෝක වෙළඳ පොළ හැසිරීමට අනුව යාවත්කාලීන විය යුතුය. ඒ සඳහා නිවැරදි ජාත්‍යන්තර වෙළඳ පොළ ප්‍රවේශයන් හඳුනාගෙන ඒවා සමඟ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.” යනුවෙන් පවසා තිබේ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත්, තේ මංඩලයේ සභාපති නිරාජ් ද මෙල්, සාර්ක් වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති නවාෂ් රාජාබීධීන්, කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති කීර්ති ගුණවර්ධන, සංචාරක වාණිජ සණ්ඩල සභාපති ඒ.එම්.ජවුෆර් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියේය.

එසේම Zen Gate Global නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක (ආසියා – ශාන්තිකර) Cullam Sheen සහ අධ්‍යක්ෂ කසුන් වීරසිංහ යන මහත්වරුන්ද උත්සව සභාව අමතා තිබේ.

Visits: 98