සොෆ්ට්ලොජික් කැපිටල් සමාගමෙන් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් වෙත රු. බිලියන 1.28ක ආයෝජනයක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී (SCAP.N0000) සමාගම සිය මව් සමාගම වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (SHL.N0000) තුළ රුපියල් බිලියන 1.28ක (1,278,534,430.25ක) මුදලක් ආයෝජනය කළ බව පවසයි.
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි වාණිජ පත්‍ර තුළ සිදුකළ ආයෝජනයක් ලෙස මෙම ආයෝජනය නම් කෙරී තිබේ. මෙහිදී අදියර තුනක් යටතේ පසුගිය දෙසැම්බර් 01 වැනිදා, දෙසැම්බර් 06 වැනිදා සහ දෙසැම්බර් 09 වැනිදා සමාගම මෙම ආයෝජන සිදුකළ බව සඳහන් වෙයි.
මෙහිදී එය සබැඳි පාර්ශ්ව අතර සිදු වූ ගනුදෙනුවක් ලෙස ඊයේ කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම අනාවරණය කර තිබේ.
ඒ අනුව පළමු ආයෝජනය ලෙස දෙසැම්බර් 01 වැනිදා රුපියල් මිලියන 400ක්ද, දෙවැනි ආයෝජනය ලෙස 06 වැනිදා රුපියල් මිලියන 440ක්ද ආයෝජනය කර තිබේ. එසේම දෙසැම්බර් 09 වැනිදා රුපියල් මිලියන 439ක් (438,534,430.25ක්) සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී තුළ ආයෝජනය කෙරී තිබේ.
මෙහිදී අදාළ මුදල් වටිනාකම සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගමෙහි කොටස් වටිනාකමින් 5%ක ප්‍රතිශතයක් ගන්නා බවත් සමාගම පවසයි.
විශේෂයෙන්ම සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම තුළ ආයෝජ ස්ථාපිත කිරිමසහ වර්තමාන වෙළෙඳ පොළ පොළී අනුපාතයන්හි වාසියක් අත්පත් කරගැනීම යනාදී කාරණා මුල් කරගනිමින් මෙම ආයෝජන සිදුකළ බව සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගම සඳහන් කරයි.
මේ අතර 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික මූල්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමට නොහැකිවීම හේතුවෙන් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටස් ගනුදෙනු අත්හිටුවීමටත් කොළඹ කොටස් හුවමාරුව පසුගිය දෙසැම්බර් 08 වැනිදා පියවර ගත්තේය.

Hits: 56