SLIM NASCO සම්මාන උළෙල SLIM National Sales Awards 2022 ලෙස නව මුහුණුවරකින්

ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙතෙක් කලක් SLIM NASCO ලෙස හැඳින්වූ සම්මාන උළෙල SLIM National Sales Awards 2022 නමින් නැවත වරක් උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබන බව නිවේදනය කර සිටියි.

පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සම්මාන උළෙලේ මෙම නවතම හැඳින්වීම එළිදැක්වීම සහ ඒ සඳහා වන අයැදුම්පත්‍ර භාරගැනීමේ අවස්ථාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිම සිදු විය. ඒ අනුව අලෙවිකරණ වෘත්තිකයන් සඳහාම වන මෙම සම්මාන උළෙල මෙවර “SLIM National Sales Awards” නමින් පැවැත්වීමට නියමිතය.

“You make the difference,” යන තේමාව යටතේ මෙවර සම්මාන උළෙල සංවිධානය වී තිබේ. විශේෂයෙන්ම අභියෝග රැසකට මුහුණ දුන් සහ අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ ජයග්‍රහණය කරා ගමන් කළ අලෙවිකරණ වෘත්තිකයන් අගය කිරීම මෙහිදී සිදු කෙරේ.

SLIM National Sales Awards මගින් කර්මාන්ත 20කට අධික ප්‍රමාණයක දක්ෂයින් හඳුනාගෙන ත්‍යාග පිරිනමනු ලබයි. එමඟින් පුද්ගලයන්ට ඔවුන්ගේ කාර්ය සාධනය මත පදනම්ව ඔවුන්ගේ සමාගම් හරහා අයදුම් කිරීමට ඉඩ සලසයි.

මෙම සම්මාන උළෙල අඛණ්ඩව වසර 20 ක් පුරා පවත්වනු ලැබූ අතර සමාගම්වල ඉහළ කාර්යසාධනයක් ඇති අලෙවිකරණ වෘත්තිකයින්ගේ විශිෂ්ට දක්ෂතාවන් ඇගයීම සහ ඔවුන්ව ජාතික මට්ටමින් හඳුනා ගැනීම එහිදී සිදු විය.

සම්මාන උළෙලෙහි දැක්ම වන්නේ දකුණු ආසියානු කලාපයේ හොඳම සම්මාන යෝජනා ක්‍රමය ලෙස ස්ථානගත වෙමින් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව අලෙවිකරණ වෘත්තිකයන් ඇගයීම බව SLIM පවසයි.

තවද විශිෂ්ට දක්ෂයින් ගෝලීය වේදිකාව තුළ ඉහලටම ඔසවා තැබීම සම්මාන උළෙලෙහි බලාපොරොත්තුවයි. එහිදී මෙම සම්මාන ලාභීන් එක්සත් ජනපදයේ Stevie Award හි තරග කිරීමේ සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් හිමිකර ගැනීමද විශේෂත්වයකි.

SLIM NSA 2022 සඳහා ඇතුළත් වන කාණ්ඩ අතරට ඉදිරි පෙළ සේවකයින් (FL), අලෙවිකරණ විධායක සහ අලෙවිකරණ අධීක්ෂක (SE), ප්‍රදේශ කළමනාකරුවන් (TM), කලාපීය අලෙවිකරණ කළමණාකරුවන් (RSM) සහ සහකාර අලෙවිකරණ කළමණාකරුවන්, ජාතික අලෙවිකරණ කළමනාකරුවන් (NSM), අලෙවිකරණ කළමනාකරුවන් (SM) සහ අනෙකුත් අලෙවිකරණ සහාය කාර්ය මණ්ඩලය ඇතුළත් වේ.

තවද මෙවර 2021 සහ 2022 වසර සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රවේශයන් සඳහා විනිශ්චය සිදු කරනු ලැබේ. අදාළ සමාගම්වල මූල්‍ය වර්ෂය අවසන් වීම සිදුවන ආකාරය අනුව එක් එක් කාණ්ඩය සඳහා කාර්යසාධන මනිනු ලබන කාලය 2021 දෙසැම්බර් 31 හෝ 2022 මාර්තු 31 වේ.

සම්මාන උළෙල පිළිබඳව SLIM හි සභාපති නුවන් ගමගේ මහතා, “National Sales Awards යනු අපගේ වාර්ෂික දින දර්ශනයේ අති විශේෂ අංගයක්. ඒ වගේම වසර ගණනාවක් පුරා එය දැඩි තරඟකාරීත්වයකින් යුක්තයි. ඕනෑම ආයතනයක අලෙවිකරණ වෘත්තිකයන්ව, වේගයෙන් වෙනස් වන පරිසරයක් තුල ඉදිරියටම යාමට සහ අභියෝග වලට මුහුණදීමට දිරිමත් කිරීම උදෙසා අපි මෙම සම්මාන උළෙල පවත්වනු ලබනවා”. යනුවෙන් පවසා සිටියේය.

“අපි සම්බන්ධ වීමට අදහස් කරන ජාත්‍යන්තර අනුබද්ධතාවයන් තුලින්, අනාගතයේදී, අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද සම්මාන උළෙල ගෝලීය මට්ටමට උසස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාතික ආයතනයක් ලෙස SLIM හි අපේ බලාපොරොත්තුව වෙන්නේ අලෙවිකරණ වෘත්තිකයන් මෙම වසරේදී ඔවුන්ගේ ව්‍යාපාර ඊළඟ මට්ටමට ගෙන යාමට යොදවා තිබෙන කැපවීමට ඉහළම පිළිගැනීමක් ලබා දීමයි ” ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ව්‍යාපෘති සභාපති ඉනෝක් පෙරේරා මහතා සිය අදහස් දක්වමින්. ““වසංගත තත්ත්වය සහ ආර්ථික අභියෝග හේතුවෙන් රට බොහෝ කැලඹීම්වලට මුහුණ දුන් කාලයකදී අලෙවිකරණ නිලධාරීන්ට ඒ සියල්ලටම මුහුණ දෙමින් කටයුතු කිරීමට සිදු වුණා. දක්‍ෂ අලෙවිකරුවන් නිර්මාණය කිරීම සඳහා, ආයතන විසින් ඔවුන්ව පුහුණු කිරීම සහ ඔවුන්ව දිරිමත් කිරීමේ කටයුතු වල නිරත වෙනවා. SLIM National Sales Awards කියන්නේ අලෙවිකරණ වෘත්තිකයන්ගේ උත්සාහයන් හඳුනාගෙන ඔවුන්ව දිරිමත් කල හැකි හොඳම වේදිකාවක්”. යනුවෙන් පැවසීය.

සම්මාන උළෙල පිළිබඳව සියලුම විස්තර https://slim.lk/nationalsalesawards/ වෙත පිවිසීමෙන් ලබා ගත හැක. සියලුම අයදුම්පත් 2022 නොවැම්බර් 30 වැනි දින සවස 5.00 ට පෙර ඉදිරිපත් කළ යුතුය. ලියාපදිංචි වී ව්‍යාපාර කරගෙන යන සීමිත වගකීම් සහිත සමාගම්, හවුල් ව්‍යාපාර, පොදු සහ තනි හිමිකාරත්වයන් සහිත ව්‍යාපාර වලටද තරඟයට ඇතුළත් විය හැක.

තරඟය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා ගංගානි 0703266988 හෝ දිමිත්‍ර 0703463171 ඇමතිය හැකි බවත් SLIM සඳහන් කරයි.

Views: 45