ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිස් සහ ජනපති අතර හමුවක් පැවැත්වෙයි

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම කර්මාන්ත ක්ෂෙත්‍රයේ ප්‍රධානීන් අතර ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පවතින ආර්ථික තත්ත්වය යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති සහ මාර්ග ව්‍යාපෘති ඉදිකිරීමේ දී සිදුව ඇති ප්‍රමාදයන් පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇත.

එමෙන්ම කොන්ත්‍රාත්කරුවන්, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද සාකච්ඡාවට ලක්ව තිබේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රය පවත්වාගෙන යාම සහ ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් අනුගමනය කළයුතු වැඩපිළිවෙළ පිළිබඳව ජනපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කර තිබේ. එසේම ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරමින් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට ද යෝජනා කර ඇත.

එසේම ඉදිකිරීම් ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙස එම ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්තකරුවෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ට උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අයත් ආයතනවල ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.

Views: 99