සම්පත් බැංකුවෙන් රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුවක්

මහ බැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ සිය ණයකර කොටස් මිලියන 100ක් නිකුත් කිරීමට සූදානමින් සිටින බව පවසයි.

බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, ශ්‍රේණිගත සුරක්ෂිත නොවූ, යටත් වූ, මුදවා ගතහැකි, පස් අවුරුදු කාලයක් සඳහා වලංගුවන – කොටස් බවට හුවමාරු කරගත නොහැකි ණයකර කොටස් නිකුතුවක් ලෙස මෙය සිදු කිරීම සැලසුම වී තිබේ.

ඒ අනුව පළමු අදියර ලෙස ඉහත සඳහන් නිර්ණායක යටතේ ණයකර කොටස් 50,000,000ක් නිකුත් කරන බව සම්පත් බැංකුව පවසයි. මෙහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී තිබේ. ඒ අනුව මෙම ණයකර කොටස් මිලදී ගැනීමත් සමගින්ම රැස්වන අරමුදලේ වටිනාකම රුපියල් බිලියන 5ක් (5,000,000,000ක්) ලෙස ගණන් බලා තිබේ.

එසේම මෙම පළමු වටයේ ණයකර නිකුතුව සඳහා හිමි වන අධිදායකත්වයත් සමගින්ම තවත් ණයකර කොටස් මිලියන 20ක් (20,000,000ක්) නිකුත් කරන බවත් බැංකුව පවසයි. එහිදීද ණයකර කොටසක් රුපියල් 10ක් බැගින් මිල කෙරී ඇති අතර, එම නිකුතුව හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 2ක් (2,000,000ක්) ලෙස ගණන් බලා ඇත.

මීට අමතරව පළමු සහ දෙවැනි වටයේ ණයකර සඳහා හිමිවන අධි දායකත්වයත් සමගින්ම තෙවැනි අදියර ලෙස තවත් ණයකර කොටස් මිලියන 30ක් (30,000,000ක්) නිකුත් කරන බව සම්පත්බැංකුව පවසයි. මේ හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 3ක් (3,000,000,000ක්) ලෙස ගණන් බලා තිබේ.

ඒ අනුව මෙම සමස්ත නිකුතුව හරහා සිදු කරන සමස්ත ණයකර කොටස් ප්‍රමාණය කොටස් මිලියන 100කි. එහිදී සමස්ත නිකුතුව හරහා සම්බත් බැංකුව රැස් කිරීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියන 10ක් වෙයි.

කෙසේ වෙතත් මෙම ණයකර නිකුතුව පිළිබඳව කොළඹ කොටස් හුවමාරුවෙහි බලධාරීන්ගේ මෙන්ම සිය කොටස් හිමිකරුවන්ගේද අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත් සම්පත් බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 304