කටාර් ගුවන් සේවය FIFA පාපන්දු ලෝක කුසලාන සමයේදී මෙරටට තවත් ගුවන් වාරයක් වැඩි කරයි

කටාරයේ ජාතික ගුවන් සේවය වන කටාර්එයාර්වේස් ගුවන් සමාගම එළැඹෙන FIFA ලෝක කුසලාන පාපන්දු සමයේදී ශ්‍රී ලංකාව වෙත සිදු කරන සිය ගුමන් මන් වාර සංඛ්‍යාව එකකින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි පවසයි.

අද පෙරවරුවේදී සිය ට්විටර් පණිවුඩයක් හරහා සටහනක් තබමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව අනාවරණය කර තිබේ.

පසුගිය දිනවල අමාත්‍යවරයා කටාරයේ සංචාරය කරමින් මේ පිළිබඳව අදාල ගුවන් සමාගම් බලධාරීන් සමගින් සාකච්ඡාවකද නිරත විය‍.

විශේෂයෙන්ම ලෝක කුසලාන පාපන්දු තරග නැරඹීමට කටාරය වෙත ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයන්ට, තම රටවල තරග නොපැවැත්වෙන දිනවලදී කෙටි නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්ථාව උදාකරලීම මෙහි අරමුණ වී තිබේ.

මෙය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකාව වෙත සංචාරක ආදායම් ඉපැයීම් වර්ධනය කරගැනීමේ අවස්ථාවක් බවද අමාත්‍යවරයා මීට පෙර සඳහන් කර සිටියේය.

“මෙය අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් කියලා කියන්න පුළුවන්. කටාරය කියන්නේ විවිධ ආගමික සහ සමාජයීය සීමාවන්ට ලක්වුණු රටක්. ඒ නිසා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ට, ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාවන් රැසක් මඟහැරෙනවා. ඒ නිසා එම පිරිසට ඉතාමත් කෙටි කාලයකදී ලංකාවට ඇවිල්ලා, උපරිම විනෝදයෙන් කාලය ගත කිරීමට අවස්ථාව ලබාදීලා ආදායමක් රැස් කිරිම තමයි මෙහි සැලසුම වෙන්නේ.” යනුවෙන් අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.

විශේෂයෙන්ම කටාරයේ සිට පැමිණෙන මෙම සංචාරකයන්ට කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ඉතාමත් කෙටි කලකින් ළගාවිය හැකි මීගමුව ප්‍රදේශයේ වෙනමම සංචාරක කලාපයක් මෙම කාලසීමාව තුළ ස්ථාපිත කිරිමටත් දැනටමත් කටයුතු යොදා ඇත. ඒ සඳහා වන සාකච්ඡා මීගමු ප්‍රදේශයේ සංචාරක ආයතන, හෝටල් ඇතුළු සංචාරක කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්වයන් සමගින් සාකච්ඡාද පවත්වා තිබේ.

“මීගමුවේ මෙම සංචාරක ප්‍රදේශය FIFA ලෝක කුසලාන පාපන්දු කලාපයක් බවට පත්කරන්න සැලසුම් කර තිබෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් කටාරයේදී තම රටේ තරගය පැවැත්වුණාට පස්සේ ආයිත් තරගයක් තියෙන්නේ දිනකට හෝ දෙකකට පස්සේ, යුරෝපයේ වගේ රටක ක්‍රීඩා ලෝලීන්ට ඒ රටේ ඉදන් කරන්න දෙයක් නෑ. ඒ නිසා ඔවුන්ට අනිවාර්යයෙන්ම විකල්ප මාර්ග සොයන්න වෙනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම තමයි අපි මේ අවස්ථාවේදී සිදු කරන්නේ.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන නොවැම්බර් 20 වැනිදා සිට දෙසැම්බර් 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. කටාරයේ නගර පහක් පුරා ක්‍රීඩාංගණ පහකදී තරගාවලිය පැවැත්වෙන අතර, තරග 32ක් ඊට ඇතුළත්වෙයි.

Views: 95