ලකී ලංකා සමාගමෙහි සියලු කොටස් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමෙන් ඉවතට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වූ ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං කම්පැනි පීඑල්සී සමාගමෙහි කොටස් එම නිල ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කිරීමට පියවර ගත් බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

ඒ අනුව මෙහිදී සමාගමෙහි සාමාන්‍ය ඡන්දහිමි කොටස්  (LLMP.N0000) සහ නිෂ්ඡන්ද කොටස් (LLMP.X0000) යන සියලුම කොටස් මෙලෙස ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කෙරෙන බව සඳහන් වෙයි.

2022 ඔක්තෝබර් 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන තිබේ.ඊයේ දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් හුවමාරුව සියලුම ගනුදෙනු සමාජිකයන් වෙත දැනුම් දී ඇත.

2001 දෙසැම්බර් 18 දිනැති අංක 1215/2 දරණ විශේෂිත ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇති සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ රීති අංක 4 (2) යටතේ මෙම පියවර ගෙන තිබේ.

2019 වසරේදී බලපෑ කාරණා කිහිපයක් හේතුවෙන් ලකී ලංකා සමාගම එම වසරේ ජූලි 01 වැනිදා සිට සිය මෙහෙයුම් අත්හිටවීය. නමුත් පසුව 2020 ඔක්තෝබර් 16 වැනිදා සිට යළිත් සිය වාණිජ මෙහෙයුම් කටයුතු ඇරඹූ බවත් සමාගම සඳහන් කර තිබුණි.

මේ අතර 2019 ඔක්තෝබර් 18 වැනිදා සිට ලකී ලංකා සමාගමෙහි කොටස් පිළිබඳ ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් හුවමාරුව පියවර ගත් අතර, ඒ වනවිටත් එමසමාගම එහි Watch List ලැයිස්තුවට ඇතුළත්ව තිබුණි.

කෙසේ වෙතත් ලකී ලංකා සමාගම මේ වනවිට සිය ව්‍යපාරික කටයුතු යළිත් සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරමින් සිය මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමටද කටයුතු යොදා තිබේ.

Visits: 416