“අද අපිට රට ගැන තියෙන පිළිගැනීම මිලදී ගන්න බැහැ, එය උපයා ගන්න වෙලයි තියෙන්නේ” – SLIM සභාපති නුවන් ගමගේ

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී ඇති දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරයි. එහිදී ආර්ථිකය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් සහිත විශේෂඥයන් ඒ සම්බන්ධයෙන් වන සිය යෝජනා ඉදිරිපත් කරයි. තවත් විද්වතුන් තවත් මත දරයි.

මේ අතරතුරදීම ලංකාවේ අලෙවිකරණ වෘත්තිකයන්ගෙන් සමන්විත ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) ශ්‍රී ලංකාව මුහුණ දෙන මෙම අර්බුදයේ මූලය සොයා ගොස් ඊට පිළියමක් යෙදීම ප්‍රධාන කටයුත්ත බව පෙන්වා දෙයි. ඒ සඳහා ශ්‍රී ලංකාව සඳහා වන ‘නේෂන් බ්‍රෑන්ඩින්ග්‘ සංකල්පයක් ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන් යෝජනා කරයි.

SLIM ආයතනයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ‘නේෂන් බ්‍රෑන්ඩින්ග්‘ එසේත් නැත්නම් ශ්‍රී ලංකාව රටක් ලෙස සන්නාමකරණයට ලක් කිරීමේ සංකල්පය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැන ගැනීම සඳහා ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා‘ අප මෙම සංකල්පයේ ප්‍රධානියා වන එහි වත්මන් සභාපති නුවන් ගමගේ මහතා මහතා සම්බන්ධ කරගත්තෙමු.

නේෂන් බ්‍රෑන්ඩින්ග් කියන දේ ලංකාවට අවශ්‍ය වෙන්නේ ඇයි?
ශ්‍රී ලංකා අලෙවිකරුවන්ගේ ආයතනයේ (SLIM) අපි වෘත්තීය අලෙවිකරුවන් විදියට අපි දකින දෙයක් තමයි නිදහසෙන් පස්සේ ගතවුණු මේ වසර  74 ක කාලය පුරාමට ලංකාව රටක් විදියට ලෝකයා ඉදිරියේ සන්නාමකරණයක් ඒ කියන්නේ බ්‍රෑන්ඩින්ග් වුණේ නෑ කියන දේ.

ලංකාවේ දේශපාලනකයන්, විද්වතුන්, ආර්ථිකය හා සම්බන්ධ විවිධ වෘත්තිකයන් මේ දක්වා ලංකාවේ ආර්ථිකය ගැන එක එක මොඩල ඉදිරිපත් කළා. ඒ හරහා ලංකාව ගැන ලෝකයා දැන ගත්තා. ඒත් හරියටම ලංකාව බ්‍රෑන්ඩ් වුණේ නෑ.

නමුත් දැන් මේ උදාවෙලා තිබෙන තත්ත්වයත් එක්කම අපි හිතනවා දැන් තමයි ලංකාව ‘නේෂන් බ්‍රෑන්ඩින්ග්‘ එහෙමත් නැත්නම් රටක් විදියට සන්නාමකරණය කරන්න සුදුසුම අවස්ථාව. මොකද ලෝකයේ ගොඩක් රටවල් දැන් තමන්ගේ මේ නේෂන් බ්‍රෑන්ඩින්ග් කියන සංකල්පය හරහා ගොඩක් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙනයි ඉන්නේ.   

නේෂන් බ්‍රෑන්ඩින්ග් සම්බන්ධයෙන් ලෝකයේ සහ ලංකාවේ තත්ත්වය මොන වගේද?
අද වෙන කොට ලෝකයේ රටවල් සන්නාමකරණය කරන ප්‍රධාන දර්ශක කිහිපයක් තිබෙනවා. Future Brand, Brand Finance වගේ. මේ දර්ශක විවිධ පැරාමිතීන් යොදා ගෙන යම් රටක සන්නාමයේ වටිනාකම් මැන බැලීමක් සිදු කරනවා. යහපාලනය, පාරිසරික කාරණා, මූල්‍යමය ස්ථාවරත්වය, ජනතාව සහ වටිනාකම්, අන්තර්ජාතික සබඳතා, සංස්කෘතිය සහ උරුමය, අධ්‍යාපනය සහ තාක්ෂණය වගේ දේවල් එතැනදී සලකා බැලෙනවා.

මේ දර්ශක බැලුවොත් ලංකාව ඉන්නේ ලෝකයේ රටවල් 200ක් අතරින් 60ත් 70ත් කියන ස්ථාන අතර. මෙතැනින් උඩට රට ගන්නේ කොහොමද කියන දේ තමයි අලෙවිකරුවන් විදිවට අපි බලන්න ඕනේ. පසුගිය කාලේ ඇති වෙච්ච ආර්ථික පසුබැසීම සහ දේශපාලන ක්‍රියාකාරකම් නිසා ලෝකයක් ඉදිරියේ අපේ රට ස්ථානගත වුණේ කොහොමද කියන දේ ගැන ප්‍රශ්නයක් තිබෙනවා.

උදාහරණයක් විදියට රටේ මේ ඇති වුණු ගැටලුව රටින් පිටත ඉන්න කෙනෙක් දැක්ක විදියේ වෙනසක් තිබෙනවා. මම පෞද්ගලිකව දකින දේ තමයි ආණ්ඩු පක්ෂ, විපක්ෂ දේශපාලඥයන් වේවා, අරගලකරුවන් වේවා මේ සියලු දෙනාගේම ක්‍රියාකලාපය රටට හොඳද නරකද කියන දේ කතා කරන්න අපි තවම ඉක්මන් වැඩියි. ඒත් මේ ප්‍රශ්නය වෙලාවේදී ලෝකය ලංකාව ගැන දැක්ක විදියේදී. ලංකාව කියන්නේ යන්න හොඳ නැති, ජීවත් වෙන්න හොඳ නැති තැනක් කියලා ස්ථානගත වෙලා තිවෙනවා. ඒ වගේම දවසකට ලංකාවේ මෙච්චර ගාණක තරුණයන් සංඛ්‍යාවක් රට දාලා යනවා. මේ සියල්ලගෙන්ම ඇති වෙන්නේ ලංකාව ගැන නෙගටිව් ඉම්පැක්ට් එකක්.

රට සම්බන්ධව තියෙන මේ ආකල්පයෙන් මිදීමට අපි කළ යුත්තේ කුමක්ද?
මේ තත්ත්වය නැති කරන්න නම් අපි රටක් විදියට ඉස්සරහට මොකද කරන්නේ කියන දේ ගැන අනාගත පරම්පරාවට යම් සැලසුමක් ඉදිරිපත් කරන්න වෙනවා. අපි ඉන්දියාව ගත්තොත් ඔවුන් දැනට අවුරුදු 10කට විතර කලින් කල්පනා කලා රට මොන දිශාවටද යා යුත්තේ කියලා. එතැනදී ඔවුන් රටේ ජනගහනයත් එක්ක නිෂ්පාදන ආර්ථිකයකට යන්න නැඹුරු වුණා. ඒත් ඒ අය තේරුම් ගත්තා තමන්ට චීනයත් එක්ක තරග කරන්න බැහැ කියලා. අමුද්‍රව්‍ය සපුරා ගැනීමේ ගැටලු, මානව සම්පතේ ගැටලු ඊට බලපෑවා.

මේ කාරණා නිසා ඉන්දියාව කල්පනා කළා තමන්ගේ ආර්ථිකය දියුණු කරන්න හොඳම දේ තොරතුරු තාක්ෂණය කියලා. ඒ නිසා ඔවුන් බැංගලෝර නගරය තොරතුරු තාක්ෂණික නගරයක් බවට පත් කරලා, අවශ්‍ය යටිතල පහසුකම් සලසා දීලා, දකුණු ආසියාවේ සිලිකන් වැලි තත්ත්වයට එය සංවර්ධනය කළා. එහි ප්‍රතිඵලය විදියට අපි අද දකිනවා ලෝකයේ තියෙන හොඳම තොරතුරු තාක්ෂණික සමාගම් 10 ඉන්න ප්‍රධාන විධායක නිලධාරීන් ඉන්දියානු සම්භවයක් සහිත පිරිස්. මේ ඔක්කොම කරන ගමන් ඉන්දියාව මේක බ්‍රෑන්ඩ් කළා, එක ප්‍රචාරණය කළා ලෝකෙටම පේන්න.

ඉන්දියාව තමන්ව සන්නාමකරණය කළේ එහෙමයි. ඊට අමතරව ඉන්දියාව ‘ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා‘ කියලා තමන්ගේ සංචාරක කර්මාන්තය සන්නාමකරණය කරනවා. ඒ අය තමන්ගේ ක්‍රීඩා සන්නාමකරණය කරනවා.

ඉන්දියාවට අමතරව තවත් උදාහරණ ගොඩක් තියෙනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් දරුණු ලෙස කඩාවැටුණු ජර්මනිය නැගී සිටියේ ඒ රටේ නිෂ්පාදනය කෙරුණු මෝටර් රථ මාදිලිවලින් රට ගැන හදාගත්ත බ්‍රෑන්ඩ් එකෙන්. අදටත් ජර්මනිය කිව්වහම ඒ බ්‍රෑන්ඩ් වැලියු එක තියෙනවා.

ඒ වගේ අපි කියන්නේ මොන දේශපාලන පක්ෂය ආවත් ලංකාවට ජාත්‍යන්තරය ඉදිරියේ යම් වටිනාකමක් දෙන්න සන්නාමකරණ කරන්න කටයුතු කළ යුතුයි.

නේෂන් බ්‍රෑන්ඩින්ග් කියන්නේ තවත් ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක්ද?
නැහැ. හැබැයි නේෂන් බ්‍රෑන්ඩින්ග් කියපු ගමන් අපේ ඔලුවට එන්නේ මොකක් හරි ඇඩ්වර්ටයිසිං කැම්පේන් එකක් වගේ දෙයක් තමයි. ඒක හරියට ලංකාවට එන්න, ලංකාවේ ඉන්වෙස්ට් කරන්න කියලා ලෝකයේ කොහේ හරි තැනක දැන්වීමක් පළ කරනවා වගේ.

ඉතිං ඔය දැන්වීම් දැකපු විදේශිකයෝ ලංකාවේ ආයෝජනය කරන්න එනවා. ඒක් අපේ තියන පරිපාලන වහුහය තුල මේ අයට මේක එපා වෙනවා. මොකක් හරි කර්මාන්තයක් පටන් ගන්න ගියාට පස්සේ ආයතන රැසකින් අනුමැතිය ගන්න වෙනවා. සිස්ටම් එක සපොර්ටිව් නෑ. මේ කියන කාරනා නිසා ඒ ආයෝජකයන් අධෛර්යමක් වෙනවා.

මම කියන්නේ ඇඩ්වර්ටයිසිං කැම්පේන් එකක් නම් අවුරුද්දකින්, දෙකකින් ඉවර කරන්න පුළුවන්. ඒත් නේෂන් බ්‍රෑන්ඩින්ග් කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. මොකද අපිට රට ගැන තියෙන පිළිගැනීම මිලදී ගන්න බැහැ. අපිට ඒක දැන් උපයා ගන්න වෙලයි තියෙන්නේ. ඒ නිසා අපේ ඉන්න දේශපාලනඥයන්ගේ ඉදලා, රාජ්‍ය ව්‍යවසායන්ගේ ප්‍රධාන නිලධාරීන්ගේ ඉදලා පහළට වෙනකම්ම රට දියුණු කිරීම කියන දේ ගැන මනස හදන්න වෙනවා.

මේ සඳහා සැලසුම මොකක්ද?
අපේ ප්‍රධානම අරමුණ වෙන්නේ දැනට තියෙන ආණ්ඩුවට හරි ඉස්සරට පත්වෙන්න තියෙන ආණ්ඩුවට හරි කාට හරි මේ නේෂන් බ්‍රෑන්ඩින්ග් කියන ක්‍රියාරාමුව ඇතුළේ එක් ආයතනයක් ස්ථාපිත කරන්න කරන්න ඕන කියන දේ ඒත්තු ගැන්වීමයි. එතැනදී ආයෝජන ප්‍රවර්ධනය කරන එක, අපනයන ප්‍රවර්ධනය කරන එක, සංචාරක ප්‍රවර්ධනය කරන එක දැනට සිදුකරන ඒ ආයතන තිබෙද්දීම ඒවා සියල්ලම එකට සම්බන්ධීකරණය කරලා එක් තනි කාර්යාංශයක් පිහිටුවන්න ඕනේ.

දෙවැනි කාරණාව තමයි අනාගතයේදී පැවැත්වෙන මැතිවරණයකට ඉදිරිපත් වන ඕනෑම පක්ෂයක් මේ නේෂන් බ්‍රෑන්ඩින්ග් සම්බන්ධ සැලසුම තමන්ගේ න්‍යායපත්‍රයට ඇතුළත් කරගෙන, තමන්ගේ පාලනයක් යටතේ සිදුකරන පළමු කටයුත්ත ලෙස ශ්‍රී ලංකාව ‘Rebrand’ කරන එක.

ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව බ්‍රෑන්ඩ් කරන්න පුළුවන් අංශ මොනවාද?
අපිට ලංකාව සන්නාමකරණය කරන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා.  ලංකාවේ තේ, ක්‍රීඩා, කුරුඳු කියන දේවල් තියෙනවා. ඒ වගේම ලංකාවේ ආයෝජන අවස්ථා කියන දේ සන්නාමකරණය කරන්න පුළුවන්. එතැනදී ලංකාවේ සිදුකරන වඩාත් පරිසර හිතකාමී විදුලිබල උත්පාදනයක් ගැන තිරසාර ඇගලුම් කර්මාන්තයක් සඳහා අවස්ථාව ගැන අපිට සන්නාමකරණය කරන්න පුළුවන්. එතකොට ඒ ගැන ලෝකයම කතා කෙරෙනවා. ඒවා මුදල් වියදම් කරලා සිදු කරගන්න ප්‍රචාරණ නෙමෙයි.

මේ කාරණා හරහා තවත් අවුරුදු පහක්, දහයක් යන කොට අපිට බලාගන්න පුළුවන් ලංකාවේ සංවර්ධනය. අපි ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ආයතනය සහ අලෙවිකරුවෝ විදියට අපේ දායකත්යට ඒකයි. මොකද හොඳ ප්‍රඩක්ට් එකක් හැදුවොත් තමයි අපිට ඒක විකුණගන්න පුළුවන් වෙන්නේ. හොඳ ප්‍රඩක්ට් එක්ක නැතුව මාර්කටිං කැම්පේන් එකක් විතරක් කරලා වැඩක් නෑ. ටුවරිස්ට්ලාට එන්න කියලා වැඩක්  නෑ – සංචාරක පහසුකම් නැතුව. ආයෝජකයන්ට එන්න කියලා වැඩක් නෑ – ආයෝජන පහසුකම් නැතුව. ඒ නිසා මේ සියල්ලම හරිගස්සන ජාතික ප්‍රතිපත්තියක් බිහි කළ යුතුයි. 

මෙතැනදී සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදිලා නව ක්‍රමවේද සොයන්න වෙනවා නේද?
පැහැදිලිවම, අපි දැන් වෙනත්ම අලුත් ක්‍රම හොයන්න වෙනවා. උදාහරණයක් විදියට අපේ සංචාරක ව්‍යාපාරය, ආගන්තුක සත්කාර බ්‍රෑන්ඩ් කිරීමක් යටතේ ගත්තොත්, ලෝකයේ ඉන්න ඉහළම වැටුප් ගන්න තොරතුරු තාක්ෂණික ඉංජිනේරුවන්ට තමන්ගේ පවුලත් සමග අපේ රටට ඇවිල්ලා මාස හයක් සංචාරය කරන්න අවස්ථාව දෙන්න පුළුවන්. එතැනදී ඔවුන්ට ඔන්ලයින් ක්‍රමයට රැකියාවත් කරන අතරදීම පවුලත් එක්ක ලංකාවේ ජීවත් වෙන්න පුළුවන්. ලංකාව කියන්නේ ලෝකයේ අඩුම අන්තර්ජාල ගාස්තු තියෙන රටක්. දැන් අන්තර්ජාල වේගයත් හොඳයි.

අපි වෙනස් වෙන්න ඕනේ කොතැනද?
අපි අපේ රට සංවර්ධනය කරන්න ආදර්ශයක් විදියට සිංගප්පූරුවම අල්ලගෙන ඉදලා වැඩක් නෑ. අපි ගත්තොත් ඉතියෝපියාව, ඔවුන් අපිටත් පල්ලෙහා තිබුණු දන්නේ මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාවක් හිටපු රටක් විදියටයි අපි දන්නේ. ඒත් අද ඔවුන් ඉතාමත් ඉහළ දියුණුවක් ලබලා තියෙනවා. මම අහලා තියෙන විදියට ඉතියෝපියාවේ එක ප්‍රතිපත්තියක් තියෙනවා ඒ රටේ විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලබලා පිටරට රස්සාවල් කරන්න ගියාට ඔවුන් අනිවාර්යයෙන්ම කමන්ගේ රටට එන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අය තමන්ගේ වැටුපෙන් 30%ක් අනිවාර්යයනේම තමන්ගේ රටට ලබා දෙන්න ඕනේ.  මොකද ඒ තත්ත්වයට ඉගෙන ගන්න රට වියදම් කරපු සල්ලි ආපසු ලබා ගන්න. ඒත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. ලංකාවෙන් ගිය අය ආයිත් ලංකාවට කවදාවත්ම එන්නේ නෑ.

මේ නේෂන් බ්‍රෑන්ඩින්ග් සංකල්පය ඉලක්ක කරන්නේ කාටද?
දැනට අපි අලෙවිකරණ ක්ෂේත්‍රයේ, සන්නාමකරණ ක්ෂෞත්‍රයේ ඉන්න තුන් හතර දෙනෙක් එකතු කරගෙන සාමාන්‍ය ජනතාවට තේරුම් කරන්න තමයි උත්සාහ කරන්නේ. මොකද ඉහළින් ඉන්න කට්ටියට එක්කෝ මේ දේ කරන්න ඕනේ නෑ, නැත්නම් ඒ ගැන දන්නේ නෑ. එතැනදීත් 2000න් පසුවේ ඉපැදුණු අය තමයි මූලිකවම ඉලක්ක කරගන්නේ. ඔවුන් මොන අධ්‍යාපන තත්ත්වයක හහිටියත් ජංගම දුරකතනයෙන් ලෝකය දැකපු කට්ටිය. ඔවුවන් හරහා මෙය සමාජ ගත කරන්න ලේසියි.

මුලින්ම මෙය සමාජ කතිකාවතක් විදියට අරගෙන යන්නයි ඕනේ. අද හැමෝම කතා වෙන්නේ සිස්ටම් චේන්ජ් එකක් ගැන. හැබැයි අපි මෙය සිදු කළ යුත්තේදැවැන්ත ජාතික සැලසුමක් සහිතව අර්ථයක් සහිත සිස්ටම් චේන්ජ් එකක් විදියටයි. අලෙවිකරුවන් විදියට අපි හිතන විදිය තමයි ඒ. වෙනත් වෘත්තිකයන්ට වෙනත් අදහසක් ඇති. අපි කරන්න ඕනේ මේ අදහස් සියල්ලම එකට එකතු කරලා වඩාත් හොඳ දෙයක් සිදු කරන්න.

අලෙවි වෘත්තිකයන් විදියට අපි දන්න සදාතනික සත්‍ය තමයි, හොඳ භාණ්ඩයක් තිබිලා වැඩක් නෑ ඒක මාර්කට් එකේ විකුණන්නේ නැත්නම්. ඒ වගේම තමයි හොඳ නැති භාණ්ඩයක්, ලොකු මාර්කටිං කැම්පේන් එකක් කරලා විකුණලා වැඩක් නෑ. ලංකාවට වෙලා තියෙන්නේ මේ දෙවැනි දේ. ඒ නිසා ලෝකෙට ගිහිල්ලා මාර්කට් කරන්න හොඳ භාණ්ඩයත් තියෙන්න ඕනේ. අපි මුලින්ම කරන්න ඕනේ අන්න ඒ රටට බ්‍රෑන්ඩ් එකක් හදන එක.

Hits: 78