ජාතික ඉන්ධන බලපත්‍රය ජනප්‍රිය වීමෙන් ජනතාව අතර ඩිජිටල් තාක්ෂණික ප්‍රගතිය පැහැදිලියි – FITIS

මෙරට තුළ උද්ගතවූ ඉන්ධන අර්බුදය සඳහා පිළියමක් ලෙස ඉදිරිපත් වූ QR කේත පද්ධතියක් සහිත ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය හරහා ශ්‍රී ලාංකික ජනතාව අතර ඩිජිටල් තාක්ෂණික ප්‍රගතිය ප්‍රත්‍යක්ෂ වෙමින් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) පවසයි.

මෙරට ඩිජිටල් පරිණතභාවය හා ප්‍රගමනය ඉහළ නැංවීම උදෙසා ගරු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මග පෙන්වීම යටතේ බලශක්ති අමාත්‍යාංශය විසින් අනුගමනය කරන ලද ඉතාම සුවිශේෂී පියවරක ප්‍රතිඵලයක් වශයෙන් රජය විසින් 2022 අගෝස්තු 01 දින රජය විසින් සියලුම මෝටර් වාහන සඳහා ඉන්ධන සලාක ලබා දීම උදෙසා මෙකී QR කේත ක්‍රමය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව මින් පෙර මෙම බරපතල අභියෝගයට පිළියම් වශයෙන් සිදු කරන ලද ඇතැම් අසාර්ථක ක්‍රියා පටිපාටිද ඒ සමගින් අවසන් විය.

වාර්තාවලට අනුව සැප්තැම්බර් 19 දින වන විට දිවයින පුරා මෙරට ඉන්ධන පාරිභෝගිකයන් 6,272,385 දෙනෙකු මෙම ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලියාපදිංචි වී සිටි අතර එය ආරම්භ කිරීමෙන් පළමු සති 7ක කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ නන් දෙසින් ගනුදෙනු 34,444,886ක් සිදු කර ඇති බව වාර්තා වේ. මෙය, අර්බුද විසඳීමට ඇති හැකියාව පිළිබඳව පමණක් නොව නවීන තාක්‍ෂණික විසඳුම් මගින් උදා කළ හැකි ප්‍රායෝගිකභාවය, කාර්යක්‍ෂමතාව සහ පහසුදායීභාවය පිළිබඳවද කදිම නිදසුන් සපයන සාධනීය පියවරකි.

FITIS හි සන්නිවේදන සේවා සැපයුම්කරු වන ඩයලොග් සමාගම හා එක්ව මෙම ජාතික ඉන්ධන බලපත්‍රය අති සාර්ථකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) ඩිජිටල් සේවා මෙහෙවරේ හවුල්කරුවෙකු වන MillenniumIT ESP සමාගම වෙතද මෙහි ගෞරවය හිමිවිය යුතුව ඇත.

ශ්‍රී ලංකාව තුළ ස්මාට් ජංගම දුරකථන භාවිතා කරන්නත් මිලියන 9ක් සිටින අතර ඉන් මිලියන 7.9ක් සමාජ මාධ්‍ය භාවිතා කරති. මේ දක්වා මිලියන 6ක පිරිසක් QR කෝඩ් ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමය සමග ලියාපදිංචි වී සිටිති.මෙම ක්‍රමවේදයෙහි සාර්ථකත්වය දින දින ඉහළ ගිය ඉන්ධන පෝළිම් ක්‍රම ක්‍රමයෙන් කෙටි වීමෙන් මනාව පිළිබිඹු වන අතරම ශීඝ්‍රයෙන් ඉදිරියට ඇදෙන ගෝලීය ඩිජිටල් පරිසරයක් තුළ ජාතික තාක්‍ෂණික සාක්‍ෂරතාව තවදුරටත් ඉහළ නැංවීමේ අවශ්‍යතාව පිළිබඳවද කදිම සාක්‍ෂියකි.

මින් පෙරද QR කේත පාදක කරගත් විවිධ ක්‍රමවේද භාවිත කිරීමේ පසුබිමක් පැවතියද (නිදසුනක් ලෙස කොවිඩ්-19 වසංගතයේ ඉහළ යාම හමුවේ කොවිඩ් ආශ්‍රිතයන් සොයා ගැනීමේ ජාතික ප්‍රයත්න සහ LankaQR වැනි විසඳුම් ආශ්‍රිතව) මෙරට මෙතෙක් අතිශයින්ම සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේදය මෙය වේ.

ආසියා-පැසිෆික් කලාපයේ නැගී එන අනෙකුත් වෙළෙඳපොලවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව ජාලගත සබැඳියාවෙහි සවිමත්භාවය, ඩිජිටල් අලෙවිකරණ කටයුතු, ඩිජිටල් ක්‍රියාදාම වෙනුවෙන් සිදු කෙරෙන ආයෝජනයන් මෙන්ම වෙනස් වන තත්ත්වයන්ට ඉක්මනින් අනුගත වීමේ හැකියාව ආශ්‍රිත ප්‍රගමනය මනාව ප්‍රකට කළ රටක් වේ. ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල වෙළෙඳපොල ඩිජිටල් පරිවර්තන අනුපාදය පිළිවෙළින් 29% හා 28% ලෙස වාර්තා වී ඇති නමුදු ශ්‍රී ලංකාවේ එකී ප්‍රතිශතය රටෙහි සමස්ථ ජනගහනයෙන් 36%ක් ලෙස වාර්තා වීම සුවිශේෂී කරුණකි.

විවිධ කර්මාන්ත නියෝජනය කරන ශ්‍රී ලාංකික සමාගම් 50 ක් ආශ්‍රිතව සිදු කරන ලද විශ්ලේෂණයක් පදනම් කරගෙන 2018 වසරේදී “ශ්‍රී ලංකාවේ ඩිජිටල් ධාරිතාව ඉහළ නැංවීම” යන තේමාව යටතේ Mckinsey ආයතනය විසින් පළ කරන ලද වාර්තාවකට අනුව, සමස්ථයක් ලෙස ගත් කළ මෙරට ස්ථාන 35 ක් ආශ්‍රිත ඩිජිටල් ප්‍රවේශ අනුපාතය එම අගයයෙහි ගෝලීය මධ්‍යන්‍යය වන 33 ට වඩා තරමක් ඉහළ මට්ටමක පවතින බව සොයා ගැනුණි.

කෙසේ වෙතත්, ගෝලීය පරිසරය තුළ අන් රටවල් සමග කරට කර නැගී සිටීමේ හැකියාවක් ශ්‍රී ලංකාව සතුව පැවතියද වඩා සංවර්ධිත රටවල් හා සැසඳීමේදී මෙරට ඩිජිටල් තාක්‍ෂණික ශක්‍යතාව තවමත් පවතින්නේ පහළ මට්ටමකය.

මෙම ඩිජිටල් ඉදිරි ගමන සඳහා වන තවත් සාක්‍ෂියක් වන්නේ ගත වූ වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව ඉතාම ඉක්මනින් භෞතික මුදල් භාවිතයෙන් තොර අන්තර්ජාලය පාදක ගෙවීම් හා ගනුදෙනු සේවා වෙත යොමු වීමයි. නිදසුනක් වශයෙන්, ගත වූ මාස 12 ක කාලය තුළ පමණක් JustPay (FITIS හි ඩිජිටල් සේවා හවුල්කාරත්වයේ සාමාජිකයෙකු වන LankaPay සමාගම විසින් ලබා දෙන) සේවාව හරහා ආසන්න වශයෙන් අන්තර්ජාලය පාදක ගනුදෙනු මිලියන 13 ක් පමණ සිදු කර ඇති බව වාර්තා වන අතර එහි සුවිශේෂී කාරණය වන්නේ රු. බිලියන 55 ක තරම් සුවිශාල ගනුදෙනු වටිනාකමක් ඒ ඔස්සේ සිදුව තිබීමයි.

FITIS හි ඩිජිටල් සේවා හවුල්කාරත්වයේ තවත් සාමාජිකයන් වන WEBXPAY, Orel Pay, PayHere, HelaPay, FriMi, IPay සහ PayMaster යන දේශීය වශයෙන් ක්‍රියාත්මක වන අනෙකුත් සේවාවන් මගින්ද ඩතාම පහසුවෙන්, නම්‍යශීලීව හා කඩිනමින් මුදල් ගෙවීම් හා ලබා ගැනීමේ පහසුකම් සලසමින් ශ්‍රී ලාංකිකයන් වෙත සැලකිය යුතු මට්ටමේ පහසුදායී අත්දැකීමක් තිළිණ කර ඇත.

එමෙන්ම, PickMe වැනි ප්‍රවාහන පහසුකම් සහ අවශ්‍ය ආහාර හා අනෙකුත් බඩු බාහිරාදිය මිලදී ගැනීම ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ සිදු කිරීමට පහසුකම් සම්පාදනය කරන ජංගම යෙදුම්ද ශ්‍රී ලංකාවේ ඩිජිටල් පෙර සූදානම වෙනුවෙන් මහත් දායකත්වයක් ලබා දී ඇති බව නොරහසකි.

FITIS ඩිජිටල් සේවා පිළිබඳ උප සභාපති ඕමාර් සහීබ් මහතා මේ සම්බන්ධයෙන් අවධාරණය කළේ ‘අපගේ අනාගත පරපුර වෙනුවෙන් වඩා සඵලදායී රටක් බිහි කර ගැනීම උදෙසා ඍජුවම දායක විය හැකි ඉතාම කාර්යක්‍ෂම කටයුතු වෙනුවෙන් අප වඩ වඩාත් සූදානමින් තබමින් වටිනා කාලය ඉතිරි කිරීමට ප්‍රයෝජනවත් වන, දේශීය වශයෙන් නිර්මාණය කර ඇති තවත් තාක්‍ෂණික සේවාවන් රැසක්ම දක්නට ලැබෙන’ බවයි.

ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ පෙර ගමනේ යෙදීමේදී ශ්‍රී ලාංකික පුරවැසියන් සෑම විටම පාහේ ප්‍රකට කරන ශක්‍යතාව ඉදිරියේදී තව තවත් වටිනා ඩිජිටල් තාක්‍ෂණික ප්‍රමුඛතා වෙනුවෙන් යොමු වීමේ අවශ්‍යතාව උදෙසා පසුබිමක් විවර කරන මට්ටමට දියුණු කරවීමේ අවශ්‍යතාවක්ද පවතී.

කෙසේ වෙතත්, ඩිජිටල් පුරවැසිභාවයේ අත්දැකීම ප්‍රවර්ධනය කිරීම උදෙසා හුදෙක් තාක්‍ෂණික සේවා අවකාශ නිර්මාණය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවද කිව යුතුය. මේ නිසා, රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයම පුරාවට නවෝත්පාදනීය ප්‍රවේශ හා විසඳුම් හඹා යාම, සේවා සුරක්‍ෂිතකරණ සේවා අවකාශ බිහි කිරීම මෙන්ම ඩිජිටල් තාක්‍ෂණික විසඳුම් සඳහා ප්‍රමුඛතාව ලබා දීමේ ප්‍රයත්නය දිරි ගැන්වීම සඳහාද ජාතික මට්ටමේ ක්‍රියාදාම දියත් කිරීමද අවශ්‍ය වේ.

ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ කර්මාන්ත සම්මේලනය, ශ්‍රී ලංකාව තුළ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ කර්මාන්තයක් දියුණු කිරීමේ කාලීන අවශ්‍යතාව පෙරමුණට ගැනීමේ අරමුණින් 1996 වසරේදී පිහිටුවන ලදි. මේ වන විට FITIS මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ කර්මාන්තයේ පෙරමුණේම සිටින ආයතනය වන අතර, දෘඩාංග අංශය, මෘදුකාංග අංශය, අධ්‍යාපනික පුහුණු අංශය, සන්නිවේදන අංශය, ඩිජිටල් සේවා අංශය, වෘත්තීය අංශය, කාර්යාල ස්වයංක්‍රීයකරණ අංශය සහ වෘත්තීය උපදේශන අංශය යනාදී සියලුම ප්‍රධාන කර්මාන්ත අංශ එමගින් ආවරණය කෙරේ.

Visits: 54