සැම්බියාවේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ජලභීතිකා එන්නත් පරිත්‍යාගයක්

සැම්බියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව මෙරට වෙත ජලභීතිකා එන්නත් තොගයක් පරිත්‍යාග කර ඇතැයි දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි.

සැම්බියා ශ්‍රී  ලංකා මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මෙම ජලභීතිකා එන්නත් භාරදීම සිදු කර තිබේ. මෙහිදී  ජලභීතිකා  එන්නත් 1150 ක් පරිත්‍යාග කෙරුණු බව සඳහන් වෙයි.

මෙහිදී එම පරිත්‍යාගය සැම්බියාවේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් එල්මෝ ජයතිලක මහතා සහ රොනී පීරිස් මහතා විසින් සම්බන්ධීකරණය කර තිබේ. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ  වෛද්‍ය  අන්වර් හම්දානි මහතා ශ්‍රී ලංකාවේ සිට එය සම්බන්ධීකරණය කර තිබේ.

වර්තමානයේදී පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ හිඟතාවට පත්ව ඇති අත්‍යවශ්‍ය ඖෂධ අතර ජලභීතිකා එන්නත් සහ නිර්විෂ එන්නත් කිහිපයක්ම පවතින  බවත් සෞඛ්‍ය අංශ මීට පෙර අනාවරණය කර තිබුණි.

සැම්බියාවේ නිර්වේතනික කොන්සල්වරයා සඳහන් කරන පරිදි, සැම්බියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් මින් පෙර ද සිය  පුද්ගලික පරිත්‍යාග  වශයෙන් ඩොලර් 10,000 ක පමණ වටිනාකමින් යුත් ඖෂධ පරිත්‍යාග කොට ඇත.

Views: 46