වටවල ප්ලාන්ටේෂන්ස් වෙතින් වටවල ඩේරි සමාගම වෙත රුපියල් මිලියන 365ක ආයෝජනයක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම (WATA.N0000) සිය පූර්ණ අනුබද්ධිත පරිපාලිත සමාගමක් වන වටවල ඩේරි ලිමිටඩ් සමාගම වෙත රුපියල් මිලියන 365ක ආයෝජනයක් සිදු කර ඇතැයි පවසයි.

ඊයේ දිනයේදී එම සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබේ. මේ ආයෝජනය සම්බන්ධයෙන් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ පසුගිය සැප්තැම්බර් 07 වැනිදාය.

මෙය වටවල ඩේරි ලිමිටඩ් සමාගමේ කාරක ප්‍රාග්ධනය වෙත සිදු කරන ආයෝජනයක් ලෙස හැඳින්වෙන බවත් වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම පවසයි.

ඒ අනුව මෙම ආයෝජනය යටතේ වටවල ඩේරි ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් අතරින් කොටස් 31,961,472ක් මිලදී ගැනීමට වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම කටයුතු කර ඇති අතර එක් කොටසක වටිනාකම රුපියල් 11.42ක් ලෙසත ගණන් බලා ඇත.

20216 වසරේදී වටවල ප්ලාන්ටේෂන්ස් පීල්සී සමාගම Duxton Asset Management සමාගමේ පරිපාලිත සමාගමක් වූ PADC Holdings සමාගම අතර ඇති කරගත් හවුල්කාර එකඟතාවක් අනුව සිදුකළ ඩොලර් මිලියන 11.5ක ආයෝජනයක් යටතේ Lonach වතුයාය තුළ වටවල ඩේරි ලිමිටඩ් සමාගම ස්ථාපිත කෙරිණි.

එහිදී වටවල ඩේරි ලිමිටඩ් සමාගමේ සමස්ත කොටස් හිමිකාරිත්වයෙන් 89%ක් වටවල ප්ලාන්ටේෂන් පීඑල්සි සමාගම වෙත හිමිව තිබේ. 2021 වසරේදී මෙම කොටස් හිමිකාරීත්වය 100%ක්ව පැවැති අතර, SBI Ven Holdings සමාගම වෙත කොටස් ප්‍රමාණයක් අලෙවි කිරීමත් සමගින්ම එය 88.89%ක් දක්වා පහතවැටුණි.

වර්තමානයවනවිට මෙම වටවල ඩේරි ලිමිටඩ් සමාගම මගින් කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයට අමතරව, ගව ගොම යොදා ගනිමින් මහා පරිමාණය කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයද සිදු කරයි.

Views: 123