කඩිනම් දායකත්ව ව්‍යාපෘතියක් සඳහා ADB සහ ජපානයෙන් ඩොලර් මිලියන 203ක ණය සහ ආධාර

ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාව ඇති කිරිම සහ ජීවනෝපාය යථාවත් කිරීම සඳහා කඩිනම් දායකත්ව ව්‍යාපෘතියක් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 203ක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජපානය පියවර ගෙන ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

මෙහිදී ශ්‍රී ලංකා රජය මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආසියානු සංචර්ධන බැංකුව හරහා ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර, ජපානය සිය සෞභාග්‍යමත් සහ ප්‍රත්‍යස්ත ආසියාවක් සහ පැසිපික් කලාපයක් සඳහා වන අරමුදල (JFPR) හරහා ඩොලර් මිලියන 03ක ප්‍රදානයක් ලබාදීමටත් ඉදිරිපත්ව සිටියි.

මීට අමතරව එම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයත් ඩොලර් මිලියන 0.36ක් යෙදවීමටද ශ්‍රී ලංකා රජය එකඟාව පළ කර තිබේ.

ඒ අනුව මෙම කඩිනම් දායකත්ව ව්‍යාපෘතිය සඳහා වන එකඟතාවට අත්සන් තැබීම මුදල් අමාතාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ADB හි නේවාසික මෙහෙයුම්හි මෙරට අධ්‍යක්ෂ  චෙන් චෙන් යන මහත්වරුන් අතර අද දිනයේදී සිදුව තිබේ.

මෙම ව්‍යාපෘතිය හරහා මූලිකවම දුප්පත් සහ අනතුරට ලක්විය හැකි පිරිසගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය යථාවත් කිරීම අරමුණ කරගෙන තිබේ. එහිදී විශේෂයෙන්ම කාන්තාවන් සහ දරුවන් ඉලක්ක කරගෙන මෙය ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව සමෘද්ධි වැඩසටහනේ තොරතුරු තාක්ෂණ පද්ධතිය යාවත්කාලීන කිරීම සහ ඒ සඳහා ඩිජිටල් ක්‍රමවේද භාවිතා කිරීම මෙන්ම කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික සංවර්ධනය දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම මෙන්ම මුදල් ආධාර ප්‍රතිලාභ තෝරාගැනීම, තහවුරු කරගැනීම, නිරීක්ෂණය සහ සන්නිවේදනය මෙන්ම මූල්‍යතත්ත්ව දියුණු කිරිම, උපදෙස් ලබාදීම මෙන්ම අඩු ආදායම් ලාභී පවුල් සහ ගොවීන් වෙත අනෙකුත් සේවා සම්පාදනය යනාදියද මීට ඇතුළත් වෙයි.

මෙම ව්‍යාපෘතිය 2024 පෙබරවාරි 29 වැනිදා වනවිට සම්පූර්ණ කිරීමත් සැලසුම වී තිබේ.

Visits: 54