රැජින මිය ගියත් ඇගේ රුව සහිත පවුම් නෝට්ටු ගනුදෙනු සඳහා තවදුරටත් වලංගුයිලු

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින ඊයේ දිනයේදි අභාවප්‍රාප්ත වුවත් ඇගේ රුව සහිතව නිකුත් කර ඇති පවුම් වටිනාකම් සහිත මුදල් නෝට්ටු තවදුරටත් ගනුදෙනු සඳහා වලංගු බව එංගලන්ත මහ බැංකුව (Bankl of England) නිවේදනය කරයි.

ඇගේ අභාවයෙන් පැය කිහිපයකට පසුව එංගලන්ත මහ බැංකුව මේ බව සඳහන් කර තිබේ. “මහ රැජිනගේ රුව සහිතව නිකුත් කර ඇති මුදල් නෝට්ටු සියල්ලක්ම ඉදිරියටත් ඕනෑම ආකාරයක ගෙවීමක් සඳහා වලංගු වෙනවා.” යනුවෙන් එහි සඳහන් වෙයි.

මේ දක්වා විවිධ වටිනාකම්වලින් යුත් පවුම් නෝට්ටු වෙත දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ රුව යොදා තිබේ. එසේම එංගලන්තය තුළ මුදල් නෝට්ටු සඳහා පළමුවරට රාජකීය රුවක් ලෙස යොදා ගත්තේද ඇගේ රුවයි.

මේ අතර රැජිනගේ අභාවය සම්බන්ධයෙන් වන ශෝක කාලයෙන් අනතුරුව දැනට නිකුත් කර ඇති මෙම බැංකු නෝට්ටු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන බවත් එංගලන්ත මහ බැංකුව සඳහන් කර සිටියි.

Visits: 88