“භූමිතෙල් මිල ඉහළ දැමීම සිදු කළ යුතුව තිබූ දෙයක් – අවශ්‍ය පිරිසට සහනාධාරයක්” – බලශක්ති ඇමති

භූමිතෙල් මිල ගණන් ඉහළ දැමීම වසර ගණනක් පුරා සිදු කළ යුතුව තිබූ දෙයක් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිදු කෙරුණු භූමිතෙල් මිල ඉහළ දැමීමේ තීරණය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියි.

මෙහිදී ඒ සඳහා මූලිකම හේතුව ලෙස අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙතෙක් කලක් සහනාධාර මිලකට භූමිතෙල් ලබාදීම හරහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ලැබූ අලාභයයි.

ඒ අනුව මෙම නව මිල ඉහළ දැමීමත් සමගින්ම අඩු ආදායම් ලාභී පවුල් සහ සිය එදිනෙදා කටයුතු සඳහා භුමිතෙල් යොදා ගන්නා ධීවර සහ වැවිලි කර්මාන්ත වෙනුවෙන් යම් ඍජු සහනාධාර ක්‍රමයක් යෝජනා කිරීමටද රජය කටයුතු කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගනු ලැබූ මෙම තීරණයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87 සිට රුපියල් 340ක් දක්වා රුපියල් 253කින් ඉහළ දැමීම සිදු විය.

මේ අතර මෙරට ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ ඩීසල්වලට අමතරව භූමිතෙල් යොදා ගනිමින් ධාවනය කරවීමට එම බස් රථ හිමියන් කටයුතු යොදන බවටද ක්ෂේත්‍රය තුළ අදහසක් පවතී. ඒ අනුව මෙතෙක් භූමිතෙල් සඳහා ලබා දුන් සහනාධාරය අවභාවිතා කිරිමක්සිදුව තිබෙන බවත් අමාත්‍යවරයා මීට පෙර සඳහන් කර තිබුණි.

Views: 87