රුසියානු ගල් අඟුරු නැව් දෙකකට ශ්‍රී ලංකාව මුදල් ගෙවලා – රොයිටර් කියයි

ශ්‍රී ලංකාව රුසියානු ගල් අඟුරු නැව් දෙකක් සඳහා අවශ්‍ය මුදල් ගෙවීමක් සිදු කර ඇතැයි රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි. එම පුවත් සේවය සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් රජයේ ඉහළ නිලධාරීන් දෙදෙනකු මේ පිළිබඳව ස්ථිර කර ඇතැයි පැවසෙයි.

ඒ අනුව මෙහිදී රුසියාවට අයත් SUEK AG’s නම් සමාගමේ සිංගප්පූරු සමාගම වෙත ටෙලිග්‍රැෆික් තාක්ෂණය හරහා මෙම මුදල් හුවමාරුව සිදු කර තිබෙන බව එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

වාර්තා පවසන ආකාරයට මෙම නෞකා දෙක සතුව රුසියානු ගල් අඟුරු ටොන් 120,000ක් තිබී ඇති අතර, මේ සඳහා ශ්‍රී ලංකාවේ මහජන බැංකුව මගින් එක්සත් ජනපද ඩොලර් මිලියන 26ක මුදලක් ගෙවීම සිදු කර තිබේ.

මෙම නෞකා දෙක සඳහා ගෙවීමට අවශ්‍ය විදේශ මුදල් නොමැති වීම හේතුවෙන් එම නෞකා අදාළ ගල් අඟුරු ගොඩබෑමකින් තොරව ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් නවත්වා තිබුණි. ඒ අනුව මෙම මුදල් ගෙවීමත් සමගින්ම අවශ්‍ය ගල් අඟුරු ගොඩබෑම සිදු වනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරියෙකු රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබේ.

එසේම විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාද එම නෞකා වෙත මුදල් ගෙවීමක් සිදු කළ බව රොයිටර්පුවත් සේවය වෙත ස්ථිරවම පවසා තිබේ.

මෙම ගෙවීම හරහා ලබාගන්නා ගල් අඟුරු මගින් රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි සඳහන් වෙයි.

“මෙගාවොට් 900ක ධාරිතාවක් සහිත ලක්විජය බලාගාරය සැප්තැම්බර් මාසය දක්වා පවත්වාගෙන යන්නට මෙම ගලු අඟුරු නෞකා දෙක ප්‍රමාණවත්.” යනුවෙන් බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරියෙකු පුවත් සේවයට පවසා තිබේ.

මේ අතර Suek AG සමාගම මගින් සපයන දකුණු අප්‍රිකානු ගල් අඟුරු ටොන් 120ක් අඩංගු තවත් නෞකා දෙකක් සඳහාද ශ්‍රී ලංකා රජය ඉදිරි මාසයක කාලයක් ඇතුළතදී ඩොලර් මිලියන 30ත් 40ත් අතර මුදලක් ගෙවිය යුතුව ඇතැයි බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් පැවසූ බව රොයිටර් පුවත් වාර්තාව වැඩිදුරටත් පවසා සිටියි.

මෙහිදී මෙම දකුණු අප්‍රිකානු ගල් අඟුරු නැව් දෙක සඳහා අවශ්‍ය මුදල් මහ බැංකුව මගින් නිකුත් කරන ණයවර ලිපි හරහා මිලදී ගැනීම සැලසුම වී තිබේ.

Visits: 190