තිරසාර බලශක්ති උත්පාදනයට DFCC බැංකුවෙන් SLASSCOM වෙත සහනදායී මූල්‍ය විසඳුම්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (IT/BPM) ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධානතම සංවිධානය වන ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සමග නිල හවුල්කාරීත්වයකට එළඹී සිටී.

තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රය යනු මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍ර අතරින් එකකි. කෙසේ නමුත් වර්තමානයේ රට තුළ පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් මෙම කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී තිබේ.

මෙම තත්ත්වයට පිළියමක් වශයෙන්, ක්ෂේත්‍රයට තිරසාර බලශක්ති විසඳුම් ලබාදීමට DFCC බැංකුව සහ SLASSCOM එක්ව කටයුතු කරනු ඇති අතර, මෙම හවුල්කාරීත්වය යටතේ එවැනි බලශක්ති විසඳුම් සඳහා විශේෂ මූල්‍ය සේවාවන්, සහනදායී ගාස්තු සහ වෙනත් විශේෂ ප්‍රතිලාභ හඳුන්වා දීමට දෙපාර්ශ්වයට බලාපොරොත්තු වෙයි.

සමාගම් 420 කට අධික සංඛ්‍යාවක 115,000 කට අධික පිරිසක් SLASSCOM හි සාමාජිකත්වය දරන අතර, මෙරට IT/BPM අපනයන ආදායමෙන් 90% ක් පමණ ලැබෙනුයේ එම සාමාජික සමාගම් වල ව්‍යාපාර කටයුතු වලිනි.

මෙම හවුල්කාරීත්වය සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගියදා DFCC බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී අත්සන් තැබිණි. DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහ SLASSCOM උප සභාපති අෂීක් අලි මහතා ඇතුළුව දෙපාර්ශ්වය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

මෙම වැඩපිළිවෙළහි කාලෝචිත බව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා, “මෙම ක්ෂේත්‍රය සඳහා තිරසාර, විශ්වාසනීය සහ ප්‍රමාණවත් බලශක්ති උත්පාදන හැකියාවන් නිර්මාණය කිරීම මෙම අවස්ථාවේදී අත්‍යවශ්‍යයි. එම නිසා, කර්මාන්තයට ස්ථාවර හා තිරසාර විසඳුම් ලබාදීම සඳහා අප SLASSCOM සමඟ අත්වැල් බැඳගත්තා. මෙම හවුල්කාරීත්වය යටතේ SLASSCOM සාමාජික ආයතන වලට තිරසාර බලශක්ති උත්පාදන ව්‍යපෘති සඳහා විශේෂ අනුපාත සහ ප්‍රතිලාභ සහිත මූල්‍ය පහසුකම් DFCC බැංකුව වෙතින් ලබාගැනීමට හැකිවනවා. මෙය අපගේ තිරසාරත්ව ක්‍රමෝපායේ තවත් ඉදිරි පියවරක් ලෙසත් හැඳින්විය හැකියි. 1988 වසරේ සිටම අප මෙරට තිරසාර හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර සඳහා මූල්‍ය පහසුකම් සපයන පුරෝගාමී ආයතනයක් ලෙස ඉදිරියෙන්ම සිටිනවා. අද දිනයේ මෙලෙස ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය රැගෙන එන ක්ෂේත්‍රයක් සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට සතුටක්. රටට වඩාත් තිරසාර අනාගතයක් උදාකර දීමට නම්, මේ ආකාරයට පරිසර දූෂණය අවම වන පරිදි බලශක්තිය උත්පාදනය කිරීම් දිරිගැන්වීම අත්‍යවශ්‍යයි.” යනුවෙන් පැවසීය.

මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, SLASSCOM උප සභාපති අෂීක් අලි මහතා. “IT/BPM ක්ෂේත්‍රය යනු ශ්‍රී ලංකාවට විදේශ විනිමය රැගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍ර අතරින් එකක්. 2021 වසරේදී එය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ආදායමක් ලැබූ අතර, 2025 වන විට එය ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මේ වනවිට පවතින විදුලි කප්පාදුවට පිළියමක් වශයෙන්, සූර්ය බලශක්තිය වෙත යොමුවීමට සමාගම් සහ කාර්ය මණ්ඩල දිරිගැන්වීමට ක්ෂේත්‍රය පියවර ගෙන තිබෙනවා. එලෙස පුළුල් මට්ටමින් සූර්ය බලශක්තිය භාවිතයට ගැනීමට හැකි නම්, එමගින් ජාතික විදුලි බල පද්ධතිය මත රඳා පැවතීමේ අවශ්‍යතාව අවම වන අතරම, ඉන්ධන ආනයනය සඳහා විදේශයන්ට ඇදී යන මුදල් ඉතිරි කරගැනීමට දායක වීමටත් හැකි වේවි. SLASSCOM හි දැක්ම වන්නේ ශ්‍රී ලංකාව IT/BPM ක්ෂේත්‍රය සම්බන්ධ හරිත ගමනාන්තයක් බවට පත්කිරීමයි. සූර්ය බලශක්ති උත්පාදනය සහ බලශක්ති ස්වයංපෝෂිතභාවය වෙනුවෙන් ක්ෂේත්‍රයට තිරසාර මූල්‍ය පහසුකම් සැපයීම සඳහා DFCC බැංකුව සමඟ අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්.” යනුවෙන් පැවසීය.

Visits: 56