චීනයේ එක්සිම් බැංකුව ණය ලබාදීම අත්හිටුවීමෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අර්බුදයක

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා අවශ්‍ය කෙරෙන එක්සත් ජනපද ඩොලර් මිලියන 51ක ණය මුදලක් ලබා දීම අත්හිටුවීමට චීනයේ රජයට අයත් එක්සිම් බැංකුව (Exim Bank) පියවර ගැනීමත් සමගින්ම එම ව්‍යාපෘතිය දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තාවෙයි.

අද දිනයේදී පළ කෙරුණු සන්ඩේ ටයිම්ස් පුවත්පත මේ පිළිබඳව කරුණු අනාවරණය කර සිටියි. පුවත්පත සඳහන් කරන ආකාරයට, රජයේ තොරතුරු අනුව මෙම ණය අත්හිටුවීම නිසා මේ වනවිට එම ව්‍යාපෘතියට සම්බන්ධව සිටි චීන ජාතිකයන් 500 දෙනෙකුට ආසන්න පිරිසක් ඉන් ඉවත්ව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපෘතියට දායක වූ ශ්‍රී ලාංකිකයන් 2000කගේ රැකියා අනතුරට පත්ව ඇතැයිද පැවසෙයි.

කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක් දුරක් ලෙස මෙම මධ්‍යම අධිවේදී මාර්ගයේ පළමු අදියර ක්‍රියාත්මක විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් විදේශීය ණය ආපසු ගෙවීම අත්හිටුවීමට රජය පියවර ගැනීමත් සමගින්ම මෙලෙස එක්සිම් බැංකුව සිය අරමුදල් සැපයීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි පුවත්පත පෙන්වාදෙයි.

එසේම මෙලෙස ණය මුදල් සැපයීම අත්හිටුවීම හරහා ව්‍යාපෘතියේ යම් ප්‍රමාදවිමක් සිදු විය හැකිබවත්, එහිදී ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවා වන චීනයේ Metallurgical Construction Company (MCC) සමාගමින් ශ්‍රී ලංකා රජයටයම් දඩ පැනවීමක් සිදු වෙනු ඇති බවත් රජයේ ආරංචි මාර්ගසඳහන් කරන බව පුවත්පත සඳහන් කරයි.

කඩවත සිට මීරිගම දක්වා වන මෙම මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර 2022 සැප්තැම්බර් මාසයේදී ආරම්භවූ අතර එය 2024 වසරේ අවසානයේදී වැඩ නිමකිරීම ඉලක්කය විය. මේ වනවිටත් ව්‍යාපෘතියෙන් 32%ක ප්‍රතිශතයක් සම්පූර්ණ කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා රජය මගින් රුපියල් බිලියන 33ක පමණ මුදලක් සම්පාදනය කර තිබේ.

Views: 151