ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට හේතු වූ කරුණු 08ක් ඇමති කංචන කියයි

මෙරට වෙත ඉන්ධන ආනයනය සහ බෙදාහැරීමේ ඒකාධිකාරය හිමි රාජ්‍ය ආයතනය වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වර්තමානයේදී අධික ලෙස පාඩු ලැබීමට හේතු 08ක් පවතින බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඊයේ දිනයේදී නිකුත් කෙරුණු 2022 ජූනි 31 වැනිදායින් අවසන් වූ ලංකා අයිඕසී සමාගමේ අප්‍රේල් – ජූනි කාර්තුව සඳහා වන කාර්යසාධන වාර්තාව තුළ රුපියල් බිලියන 9.9ක ලාභයක් හිමිකරගැනීමේ පසුබිමත් සමගින්ම  අමාත්‍යවරයා මෙම අලාභ ලැබීම පිළිබඳව සඳහන් කර තිබීමත් විශේෂත්වයකි.

ඒ අනුව මෙම කරුණු අතර පළමු වැන්න වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වසර ගණනක් පුරා සහනදායී මුදලකට සිය නිෂ්පාදන අලෙවි කිරිමයි. එසේම දෙවැනි කරුණ වන්නේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදුව ඇති අවප්‍රමාණයයි. එහිදී පසුගිය මාර්ගු මාසයට පෙරාතුව ඩොලරයක් සඳහා රුපියල් 203ක් බැගින් දින 90-180ත් අතර කාලයක ණයක් සඳහා මිලදී ගත් ඉන්ධන සඳහා ඩොලරයකට රුපියල් 367-390ත් අතර මුදලක් ගෙවීමට සිදුවීම මූලික වෙයි.

එසේම අමාත්‍යවරයා සඳහන්කරන තෙවැනි කරුණ වන්නේ  මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත සහ විදුලිබල මණ්ඩලය වෙත ලබා දී ඇති ඉන්ධන සඳහා අයවිය යුතුව ඇති ‍ඩොලර් මිලියන 300ක සහ රුපියල් බිලියන 60ක අතිශය විශාල මුදලයි.

මීට අමතරව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු මූල්‍යමය තත්ත්වය හේතුවෙන් මතුව තිබෙන නෞකා ප්‍රමාද ගාස්තු සහ බැංකු පොළී අනුපාත යනාදියද මෙහි සිව්වැනි කරුණ බව අමාත්‍යවරයා පවසයි.

පස්වැනි කරුණ වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු අධික කාර්ය මණ්ඩලයයි. එසේම අකාරයක්ෂමතාව සහ අධික වැටුප් ගෙවීමද ඊට ඇතුළත්ව තිබේ.

එසේම 2012  වසරේදී ඇති කරගත් සාමුහික එකඟතාවකට අනුව සිදු කරන 25%ක වැටුප් ඉහළ දැමීමද මෙම පාඩුව සඳහා වන හයවැනි හේතුව ලෙස අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මීට අමතරවව ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතු පිරිපහදුව ක්‍රියාත්මක නොවීම සහ වැඩි වශයෙන් පිරිපහදු කළ නිෂ්පාදන ආනයනය සඳහා යැපීමත් මේ තත්ත්වයට හේතුවන හත්වැනි කාරණාව බව ඔහු පවසයි.

අවසානයේදී අටවැනි කරුණ ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති අධික බෙදාහැරීමේ වියදමද මෙම අලාභය තවදුරටත් ඉහළ දැමීමට හේතුව වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

Visits: 290