Exterminators PLC ශත 7ක ලාභාංශ නිවේදනයත් සමග කොටසක් 6.38%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Exterminators PLC සමාගම (EXT.N0000) සිය කොටස් හිමිකරුවන් වෙත රුපියල් ශත 7ක් බැගින් ලාභාංශ ගෙවීමක් පිළිබඳව ඊයේ නිවේදනය කෙරිණි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබාදෙන සිය අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන සැප්තැම්බර් 20 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 31 වැනිදා නම් කෙරී තිබේ.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් එහි කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් හිමිවිය යුතුව ඇති අතර, ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන අගෝස්තු 30 වැනිදා පැවැත්වීමටද නියමිතව තිබේ.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී Exterminators PLC කොටසක වටිනාකම රුපියල් 5.00ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ වාර්තා කළ රුපියල් 4.70ක වටිනාකම හා සැසඳීමේදී ශත 30ක එනම් 6.38%ක ඉහළ යාමකි.

මේ තත්ත්වයත් සමග දිනය තුළ Exterminators PLC කොටසක වටිනාකම රුපියල් 5.20ත් – 4.50ත් අතර පරාසයකදී ගනුදෙනු වී තිබේ. මීට අමතරව අද දිනය තුළ සිදුවුණු ගනුදෙනු 96ක් තුළ Exterminators PLC කොටස් 101,779ක් හුවමාරුවී ඇති අතර, දිනයේ සමස්ත පිරිවැටුම ලෙස රුපියල් 501,943,70ක් ලෙස සටහන්ව තිබේ.

Views: 85