ජැක් මා Ant Group හි පාලනය අත්හැරීමට යයි – ඉදිරියේදී රජයට අයත් සමාගමක් වන ලකුණු?

චීනයේ අංක එකේ ධනවතා වන ජැක් මා සිය මූල්‍ය තාක්ෂණික සමාගම (Fintech) වන Ant Group හි පාලනය අත්හැර දැමීමට සැලසුම් කර ඇතැයි එක්සත් ජනපදයේ වෝල් ස්ට්‍රීටී ජර්නල් පුවත්පත පවසයි. මෙය Ant Group සමාගම සහ චීන රජයත් අතර මතුව තිබෙන මතභේදයේ තවත් අවස්ථාවක් ලෙසටද හැඳින්වී තිබේ.

Ant Group සමාගම අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ නිරත ලොව සුප්‍රසිද්ධ සමාගමක් වන Alibaba හි අනුබද්ධිත ආයතනයකි.

වාර්තා සඳහන් කරන ආකාරයට ජැක් මා සතුව Ant Group හි 10%ක කොටස් හිමිකාරීත්වයක් පවතී. ඒ අනුව මෙම අත්හැරීමත් සමගින්ම ජැක් මා Ant Group හි ඇති සිය ඡන්ද හිමි බලය එහි වත්මන් ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු නිලධාරීන් වෙත ලබා දෙනු ඇතැයිද මෙම පුවත්පත් වාර්තාව පවසා සිටියි.

මෙලෙස ජැක්මා විසින් Ant Group හි තමන් සතු කොටස් බෙදාහරිමින් එම සමාගම තුළ තමන් සතුව ඇති පාලනය අත්හැරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිටම සැලසුම් කළ බවත් රොයිටර් පුවත් සේවයද මීට පෙර වාර්තා කර තිබුණි.

විශේෂයෙන්ම 2020 වසරේ අවසන් භාගයේදී ජැක් මා ගේ මෙම Ant Group සමාගම එරට කොටස් හුවමාරුව තුළ සැලසුම් කර තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියන 37ක් පමණ වටිනා මහජන කොටස් නිකුතුව (IPO) අවසන් මොහොතේදී අවලංගු කිරිමට එරට බලධාරින් පියවර ගැනීම මෙම අවස්ථාව පිටුපස පවතින ප්‍රධානම කාරණාවකි.

යම් ලෙසකින් මෙම මූලික මහජන කොටස් නිකුතුව විවෘත කෙරුණේ නම් එය එතෙක් මෙතෙක් ලොව නිකුත් කෙරුණු විශාලතම මූලික මහජන කොටස් නිකුතුව වීමටද ඉඩ තිබුණි.

එහෙත් මෙම මූලික මහජන කොටස් නිකුතුව අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි චීන බලධාරීන් Ant Group සමාගමේ හිමිකාරීත්වය පිළිබඳව විනිවිදභාවයකින් තොරවූ ගැටලු කිහිපයක් පවතින බව සඳහන් කර සිටියේය.

සේම Ant Group හි මූලික මහජන කොටස් නිකුතුව අත්හිටුවීමට සමගාමීවම චීනබලධාරීන්ගෙන් ජැක් මා වෙත විවිධ බලපෑම් එල්ල වූ බවත් සඳහන් වෙයි. එහිදී ඔහු වසරකට ආසන්න කාලයක් යන තුරුම ප්‍රසිද්ධ මාධ්‍යයෙන් ඈත්ව සිටි අතර‍, අවස්ථා කිහිපයකදී පමණක් කරළියට පැමිණියේය. එහෙත් ඔහු සිටින ස්ථානයක් කිසිවෙකුටවත් සොයා ගත නොහැකි විය.

මේ අතර,වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන අකාරයට Ant Group සමාගම දැනටමත් ජැක් මා ගේ මෙම ඉවත්වීම සම්බන්ධයෙන් චීන රජයේ බලධාරීන් වෙත දැනුම් දී තිබේ. එසේම ඉදිරියේදී Ant Group සමාගම චීන මහ බැංකුව යටතේ නියාමනය කෙරෙන මූල්‍ය සමාගමක් බවට පත් කිරීමටද සූදානම් බවත් ඔවුන් පවසා තිබේ.

ඒ අනුව Ant Group හි පාලනයේ සිදුවන වෙනස්කමත් සමගින්ම ඉදිරියේදී එම සමාගම පෙර සැලසුම් කළ දැවැන්ත මූලික මහජන කොටස් නිකුතුව සඳහා අවස්ථාව හිමිවනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

මේ අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම සතිය ආරම්භයේදී එළිදැක්වුණු Alibaba සමාගමේ වාර්ෂික වාර්තාවට අනුවද, Ant Group සමාගමේ විධායක නිලධාරීන් සහ Alibaba සමාගම අතර කිසිදු හවුල්කාරීත්වයක් නොමැති බවත් සඳහන් කර තිබුණි.

Visits: 180