ශ්‍රීලංකන් ගුවන් සේවය MATI වෙතින් ගෞරවනීය ‘50 වසරක සංචාරක සම්මානය’ හිමිකර ගනී

මාලදිවයිනේ සංචාරක ස්වර්ණ ජයන්තිය සැමරීමේ උත්සවයකදී අඩ සියවසකට අධික කාලයක් පුරා ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සිදු කරන ලද විශිෂ්ට සේවාව අගයමින් MATI විසින් කීර්තිමත් ‘50 වසරක සංචාරක සම්මානය’ පසුගියදා පිරිනමා තිබේ.

1960 දී එවකට එයාර් සිලෝන් යටතේ මාලදිවයින වෙත මෙහෙයුම් දියත් කළ පළමු ජාත්‍යන්තර වාණිජ ගුවන් සේවය බවට ශ්‍රීලංකන් පත් වූ අතර එතැන් සිට අඛණ්ඩව නව මාවත් විවර කරමින් මාලදිවයිනේ ගුවන් තොටුපළවල් කිහිපයකට මගීන් රැගෙන පියාසර කරන එකම ජාත්‍යන්තර ගුවන් සේවය බවටද ශ්‍රීලංකන් පත්විය.

මාලදිවයිනේ සංචාරක කර්මාන්ත සංගමය (MATI) මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයට මූලිකත්වය ගෙන ක්‍රියාකරයි. ඒ සඳහා සුවිශේෂී ලෙස දායක වූ සංවිධාන සහ පුද්ගලයින්ට ගෞරව දැක්වීම අරමුණු කරගනිමින් මෙම විශේෂ ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවය පසුගියදා සංවිධානය කර තිබිණි.

මෙහිදී සම්මානලාභීන් තෝරා ගනු ලැබුවේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් විසිනි. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීතුමා වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාලදිවයිනේ කළමනාකාර ෆවුසාන් ෆරීඩ් මහතා සම්මානය පිළිගත්තේය.

Visits: 34